නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 54 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 54 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම, ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරතවීම සහ මත්ද්‍රව්‍ය අලෙවි කිරීම යන හේතූන් මත නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් පසුගිය ජුලි 23 වන දින වෙඩිතලතිව් වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් සමඟ ධීවරයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 361 ක් සහ වල්ලම් යාත්‍රා 04 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයින්, මුහුදු කූඩැල්ලන් තොගය, වල්ලම් යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා වෙඩිතලතිව්, ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

වයඹ නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් පසුගිය ජුලි 25 වන දින කල්ලාරු ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී සිදු කළ සෝදිසි කිරීමකදී වලංගු ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ඔවුන් සතුව තිබූ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරුණි.

එමෙන්ම, පසුගිය ජුලි 25 වන දින උතුරු මැද නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් ඉරනමාතානගර් සහ යහාප්පාර් වෙරළ තීරයන්හිදී නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් සමඟ ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 53 ක්, ඩිංගි යාත්‍රා 03 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයින්, මුහුදු කූඩැල්ලන් තොගය, වල්ලම් යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චිය, ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

නැගෙනහිර නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් පසුගිය ජුලි 26 වන දින අලිය දුපත සහ මුලතිව් මුහුදු ප්‍රදේශයන්හිදී නීති විරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 451 ක්, තහනම් දැල් 12 සහ ඩිංගි යාත්‍රා 06 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. ඒ අනුව අලිය දුපත මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්, අල්ලන ලද මසුන් තොගය, තහනම් දැල්, ඩිංගි යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා වෙරළාරක්‍ෂක දෙපාර්තමේනතුව හරහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලද අතර, මුලතිව් මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්, අල්ලන ලද මසුන් තොගය, තහනම් දැල්, ඩිංගි යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා  මුලතිව්, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරුණි.

තවද, පසුගිය ජුලි 26 වන දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් මඩකළපුව, කළපු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී නීති විරෝධී දැල් 20 ක් සොයාගෙන ඇති අතර, එම දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

පසුගිය ජුලි 28 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් සහ කුච්චවේලි පොලීසිය සමඟ එක්ව ගෝපාල්පුරම් ප්‍රදේශයේ අනවසරයෙන් කපා සඟවා තිබු විවිධ ප්‍රමාණයන්ට ඉරන ලද බුරුත ලී කැබලි 12 ක් සොයාගන්නා ලද අතර, එම ලී ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී. එමෙන්ම, එදිනම නැගෙනහිර නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් සහ පොලීස් විශේෂ කාර්ය බළකාය සමඟ එක්ව කොඩ්බේ ධීවර වරාය ඉදිරිපස පිවිසුම් දොරටුව අසලදී නීති විරෝධී විදේශිය දුම්වැටි පෙට්ටි 60 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. එම දුම්වැටි ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදි අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පුද්ගලයින්, දුම්වැටි තොගය සහ ත්‍රිරෝද රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා චීන වරාය, පොලීසීය වෙත භාර දීමට කටයුතු කෙරුණි.
 
තවද, උතුරු මැද නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් පසුගිය ජුලි 28 වන දින මැදවච්චිය නගරයේදී මත් පෙති අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔහු සතුව තිබූ මත් පෙති 1460 ක ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයා සහ මත් පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා අනුරාධපුරය, ආහාර හා ‍‍ඖෂධ පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.