හපුතලේ ඉදිකරන ලද මෙරට ප්‍රථම කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මානයට නව තාක්ෂණික දැනුම නාවික හමුදාවෙන්
 

කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්වය උසස් කරලීමේ අරමුණින් ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ හපුතලේ කහත්තේවෙල ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ මෙරට ප්‍රථම කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මානය සඳහා සකස් කරන ලද භූගෝලීය තොරතුරු පද්ධතිය හා වෙබ් අඩවිය පිහිටුවීමේ ආරම්භක මහෝත්සවය පසුගිය ජුලි 21 වන දින කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හපුතලේ කහත්තේවෙල ශ්‍රි සංඝරාජ පිරිවෙන් විහාරස්ථානයේ දී සිදු කෙරිණි.

ඒ සදහා නව තාක්ෂණික සහය ශ්‍රී ලංකා නාවික හමුදාවේ තොරතුරු තාක්ෂණ අංශය මගින් ලබාදුන් අතර, එහිදී GPS තාක්ෂණය තුලින් කෘෂි ගම්මානයට අදාල සියලු භූගෝලිය තොරතුරු ඇතුලත් පද්ධතියක් නිර්මාණය කිරීම, ඒ සදහා වේබ් අඩවියක් ස්ථාපනය කිරිම හා නව තාක්ෂණය උපයෝගි කරගනිමින් ගොවි ජනතාව හා අදාල පාර්ශවයන් සමග සජීවීව සම්බන්ධවීමේ කෘෂි උපදේශන සේවා ක්‍රමවේදයක් වැනි වැඩසටහන් කිහිපයක් සකස් කිරීමට නාවික හමුදා භූගෝලීය තොරතුරු පද්ධති අංශය කටයුතු කරන ලදී.

මෙම ව්‍යපෘතිය කෘෂිකර්ම අමාත්‍යංශයේ අතිරේක ලේකම් නිමල්කා ඩයස් මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩළික නිලධාරී (භූගෝලීය තොරතුරු පද්ධති), කොමාණ්ඩර් නදීර කුලපති මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ නාවික හමුදා භූගෝලීය තොරතුරු පද්ධති අංශයේ නාවිකයන් ගේ සහභාගිත්වයෙන් දින 07 ක් වැනි ඉතා කෙටි කාලයක් තුළදී සිදුකරන ලද අතර, ඉදිරියේ දී මෙම ව්‍යාපෘතියට අදාල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිළධාරින්හට GPS තාක්ෂණය පිලිබදව දැනුම බෙදාදීමේ පුහුණු වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.