අනවසර සංක්‍රමණිකයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට
 

නිති විරෝධී ලෙස ඉන්දීය ට්‍රෝලරයක් භාවිත කරමින් මුහුදු මාර්ග ඔස්සේ ඉන්දීයාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් 06 දෙනෙකු ඊයේ (මැයි  30)  නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, මෙම පුද්ගලයින් තලෙයිමන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේදී මුර සංචාරයේ යෙදී සිටි උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

එහිදී ‍පිරිමි පුද්ගලයින් තිදෙනෙකු (03), එක් කාන්තාවක් (01) සහ ළමුන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇති අතර, තලෛයිමන්නාරම පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්න ආයතනය වෙත ඔවුන් රැ‍ගෙන ඒමෙන් පසු ප්‍රථමාධාර සහ වෛද්‍ය පහසුකම් සැපයිමට නාවික හමුදාව කටයුතු කරන ලදී. අනතුරුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම පුද්ගලයින් සහ ට්‍රෝලර් යාත්‍රාව තලෙයිමන්නාරම පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.