තවදුරටත් නාවික හමුදා සහන සැළසීමේ කටයුතු ප්‍රදේශ රැසකට
 

පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවක සාමාන්‍ය ජන ජීවිතය අඩාල විය. ඔවුන්ගේ දෛනික කටයුතු යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් 43 ක් සහ ඩිංගි යාත්‍රා 43 ක් මේ වන විට දකුණු, බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත් වෙත අනුයුක්ත කර ඇත.

රත්නපුර, අයගම ප්‍රදේශයේ ජනතාවට නාවික හමුදාවේ ප්‍රවාහන සහය.

රත්නපුර, අයගම ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජිවිතයට දැඩි බලපෑමක් ඇති කරන ලද අතර, ජනතාවගේ දෛනික අවශ්‍යතාවයන් සඳහා ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමටද අපහසු විය. ඒ අනුව නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත නාවිකයින් විසින් එම ප්‍රදේශයේ බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලද අතර, එමඟින් එම ප්‍රදේශයේ ජනතාව තම දෛනික ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට කටයුතු කරන ලදී.

වෙන්නප්පුව තුන් මෝදර ප්‍රදේශයේ මාර්ගය යථා තත්වයට.

වෙන්නප්පුව, තුන්මෝදර ප්‍රදේශයේ මාර්ගයක් හරහා ගස් කඩා වැටී තිබූ අතර, කඩිනමින් ක්‍රියාත්මක වූ නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් එම ගස් ඉවත් කර එම මාර්ගය යාථා තත්වයට පත් කිරීමට කටයුතු කරන ලදී.

නාත්තන්ඩිය මීගමුව ප්‍රධාන මාර්ගයේ සැඩපහරට හසුවී තිබු වැන් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙක් බේරා ගැනේ.

අද (24 මැයි) අළුයම 04.00ට පමණ නාත්තන්ඩිය මීගමුව ප්‍රධාන මාර්ගයේ සැඩපහරට හසුවී තිබු වැන් රථයක් සහ ඒතුල සිරවී සිටි පුද්ගලයන් දෙදෙනෙකු නිරුපද්‍රිතව ආරක්‍ෂිත ස්ථානවෙත ගෙන ඒමට නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායමක් සමත් විය.

පසුගිය දින කිහිපය තුල මෙන්ම ඉදිරියේදීත් මහජනතාව වෙත සහන සැළසීම සඳහා සිය දායකත්වය ලබා දීමට නාවික හමුදා සහන කණ්ඩායම් තවදුරටත් සුදානමින්.