ජාතික රණවිරු සැමරුම් උළෙල ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්
 

2018 ජාතික රණවිරු සැමරුම් උළෙල, සන්නද්ධ සේවා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (මැයි 19) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්විණි. එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ද එක්විය.

රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය මෙවර පවත්වනු ලැබුයේ 9 වන වරටය. සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව, අතිගරු ජනාධිපතිතුමන්, ගරු කථානායක, ගරු අමාත්‍යවරුන්, ප්‍රභූ පුද්ගලයින්, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් ඇතුළු අනෙකුත් සම්භාවනීය අමුත්තන් සහ සටනේදී මියගිය සහ අතුරුදහන් වූ රණවිරු පවුල්වල සාමාජික සාමාජිකාවන් විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝහාර පුද කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ අතිගරු ජනාධිපතිතුමන් ප්‍රකාශ කර සිටියේ මව්බිමට තිරසාර සාමයක් උදාකරලීම වෙනුවෙන් කැපවුණු රණවිරුවන්ගේ සේවය අගය කරන බවත්, රණවිරුවන්ගේ ජීවන තත්ත්වය උසස් කීරීම පිණිස රජය විසින් සුභසාධක ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කර ඇති බවද එතුමන් සඳහන් කරන ලදී. එමෙන්ම ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කර ගැනීම උදෙසා සිය දායකත්වය සපයන ලද සියලුම රණවිරුවන් හට සිය ගෞරවාන්විත ප්‍රණාමය ද පුද කර සිටියේය.

මෙම අවස්ථාව සඳහා, ගරුතර මහා සංඝරත්ණය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන්, ප්‍රභූ පුද්ගලයින්, රණවිරු සේවා අධිකාරිය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයන්, රණවිරු පවුල්වල සාමාජික සාමාජිකාවන් ඇතුළු සිවිල් ජනතාව විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.

තවද, මීට සමගාමීව පවත්වනු ලබන ‘ආලෝක පුජාව’ ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ද සහයෝගීත්වය ඇතිව කැළණිය රජ මහා විහාරස්ථානයේ දී අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස පැවැත්වීමට කටයුතු යොදා තිබුණු අතර, එහිදී දේශයේ යහපත් හෙට දිනක් උදාකිරීමට මාතෘ භුමීය වෙනුවෙන් තම ජීවිත පුජා කරමින් හා අපරිමිත කැපකිරීම් සිදු කරන ලද වීරෝධාර ත්‍රිවිධ හමුදා සහ පොලීසියේ රණවිරුවන් සිහිපත් කරමින් ඔවුන්ගේ ජිවිත ආලෝකමත් වේවායි උතුම් ප්‍රාර්ථනාවෙන් යුක්තව ‘ආලෝක පුජාව’ පවත්වන ලදී.