සාර්ථක නාවික පුහුණු අභ්‍යාසයකින් පසු ‘සාගර’ නෞකාව යලි දිවයිනට
 

බහුපාර්ශවික කොමෝඩෝ (Komodo 2018) නාවික අභ්‍යාසයට සහ 2018 අන්තර්ජාතික නෞකා පිරික්සුමට සහභාගී වීම සඳහා පසුගිය අප්‍රේල් 24 වන දින ශ්‍රී ලංකාවෙන් ඉන්දුනීසියා‍ව බලා පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව එම පුහුණු සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් අද (මැයි 18) දිවයිනට ලඟා විය.

එහිදී, නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව කෙළඹ, වරාය පරිශ්‍රය වෙත පිළිගන්නා ලද අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරි (මෙහෙයුම්) කොමාණ්ඩර් (සංඥා) ජානක සමරනායක මහතා සහභාගී විය. එහිදී, කොමාණ්ඩර් (සංඥා) ජානක සමරනායක මහතා සහ නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් (සංඥා) ජානක නිශ්සංක මහතා හමුවී පුහුණු සංචාරයේ ප්‍රගතිය පිළිබඳ සුහඳ පිළිසදරක ද නිරත විය.

තවද, අග්නිදිග ආසියාතික රටක් වන ඉන්දුනීසියානු රාජ්‍ය විසින් සංවිධානය කර තිබු මානුෂිය ආධාර හා ආපදා සහන අභ්‍යාසය ‘Multilateral Naval Exercise Komodo 2018’ අභ්‍යාසයේ ප්‍රධාන අරමුණ වූයේ බරපතල ස්වාභාවික ආපදා තත්වයකදී කළාපීය සහයෝගීතාවයෙන් යුතුව ඒ සදහා මුහුණදීමේ හැකියාව ප්‍රගුණ කිරීමයි. මෙම අභ්‍යාසය හුදෙක්ම මුහුදු අභ්‍යාසයක්ම පමණක් නොවු අතර විවිධ වැඩසටහන් වලින් සමන්විත වීය. එම වැඩසටහන් අතුරින් විශේෂ ක්‍රීඩා වැඩසටහන, මැරතන් ධාවන තරගය, අත් පන්දු, පා පන්දු සහ පාපැදි රැළියන් පැවැති අතර, එමඟින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ දස්කම් විදහා දැක්වීමට හැකි විය.

එමෙන්ම 2018 මැයි මස 08 වන දින ලොම්බොක් මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාව සහ ඉන්දුනීසියානු නෞකාවන් අතර මුහුදු අභ්‍යාස සිදු කරන ලද අතර, ශ්‍රිලංකා නාවික හමුදා ඉතිහාසය තුළදී ප්‍රථම වරට විදේශ නෞකා දෙකක් සමග එක විටකෙදී මුහුදේදී භාණ්ඩ සහ පුද්ගලයින් හුවමාරු කිරීමේ අභ්‍යාසය (Replenishment at Sea) සිදු කීරීමට ශ්‍රි ලංකා නාවික නෞකා සාගර නෞකාවේ කාර්යය මණ්ඩලයත් සමත් වන ලදී.

තවද, 2018 මැයි මස 09 වන දින සොයාගැනීම සහ මුදවා ගැනීම (Search & Rescue) යන අභ්‍යාසය පැවැත් වූ අතර, එම අභ්‍යාසය සාර්ථක ලෙස ප්‍රථමයෙන්ම අවසන් කිරීමට ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාව සමත් වන ලදී. එය ශ්‍රී ලංකා නාවික හමුදාව සතු අද්දැකීම් ලොවට පෙන්වා දීමට කදිම අවස්ථාවක් විය . එහිදී නාවික පුද්ගලයින් එම අභ්‍යාසයට යොමුවු ආකාරයත් එම ක්‍රියාන්විතය සිදු කරන ආකාරයත් ඉන්දුනීසියානු නාවික හමුදාවේ නිලධාරීන්ගේ විශේෂ ඇගැයීමට ලක් විය.

මෙම නිල සංචාරය සඳහා උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා, නාවික හමුදාධිපතිගේ අධි සහයක සහ පෞද්ගලික ලේකම්, කපිතාන් (අවි) අරුණ තෙන්නකෝන් මහතා ඇතුළු ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාවේ නිලධාරීන් 20 දෙනෙකු, පුහුණුවන නිලධාරින් 04 දෙනෙකු සහ නාවිකයන් 168 දෙනෙකුගෙන් සමන්විත කාර්යය මණ්ඩලයක් සහභාගී වීය. තවද, මෙම පුහුණු අභ්‍යාස වැඩසටහන් නැරඹිම සඳහා ජකර්තාහි ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, ‍කපිතාන් (සංඥ) මහින්ද මහවිතාන මහත ද සහභාගී වීය.