උතුරු මුහුදේ යාත්‍රාවකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 15) සිදු කළ මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස උතුරු මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් සහ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

කන්කසන්තුරයට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ නාවික සැතපුම් 13 ක පමණ දුරකින් ‍සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් යාත්‍රා කරන බව නාවික හමුදාව නිරීක්ෂණය කොට ඇති අතර, ඒ අනුව එම යාත්‍රාව දෙසට නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර යැවිමට කටයුතු කර ඇත. එහිදී ‍පිරිමි පුද්ගලයින් තිදෙනෙකු (03), එක් කාන්තාවක් (01) සහ ළමුන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇති අතර, කන්කසන්තුරෙයිහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත ඔහුන් රැ‍ගෙන ඒමෙන් පසු ප්‍රථමාධාර සහ වෛද්‍ය පහසුකම් සැපයිමට නාවික හමුදාව කටයුතු කරන ලදී. අනතුරුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම පුද්ගලයින් සහ ඩිංගි යාත්‍රාව කන්කසන්තුරෙයි පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.