නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වීම, මත් පෙති සහ කේරළ ගංජා ලඟ තබා ගැනීම මෙන්ම තහනම් දැල් ලඟ තබා ගැනීම යන හේතූන් මත නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, නාවික හමුදාවට ලද තොරතුරකට අනුව පසුගිය අප්‍රේල් 24 වන දින බටහිර නාවික විධා‍නයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ නාරාහෙන්පිට, මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරින් පිරිසක් එක්ව මහබාගේ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මත් පෙති (Feel Tablets) 50 ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 300 ක් ලඟ තබා ගත් පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගන්නා ලදී. ඒවා යතුරු පැදියකින් අලෙවි කරමින් සිට ඇති අතර, එම පුද්ගලයින්, මත්ද්‍රව්‍ය තොගය සහ යතුරු පැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා නාරාහෙන්පිට, මත්ද්‍රව්‍ය ඒකකය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, පසුගිය අප්‍රේල් 24 වන දින නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් සහ ත්‍රිකුණාමල කුච්චවේලි පොලීසියට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව කුච්චවේලි සහ ගෝමරන්කඩවල යන ප්‍රදේශවල සිදු කළ වැටලීමකදී පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් අල්ලන ලද මසුන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු (06) අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සතුව තිබූ පරා මාළු කිලෝග්‍රෑම් 1991 ක් සොයා ගෙන ඇති අතර, ඒවා ටාටා වර්ගයේ ලොරි රථ තුනක් මඟින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත් වී ඇත. එම පුද්ගලයින්, මසුන් තොගය සහ ලොරි රථ ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමල සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදාවට ලද තොරතුරක් මත උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය අප්‍රේල් 26 වන දින පල්ලමුණෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසී කිරීමකදී නීති විරෝධී ලෙස ඩයිනමයිට් යොදා ගනිමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇති අතර, අල්ලන ලද මාළු කිලෝග්‍රෑම් 230 ක් ඔවුන් සතුව තිබී අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, එම පුද්ගලයින් සහ මසුන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, ධීවර පරික්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය අප්‍රේල් 25 සහ 27 යන දෙදින තුල මඩකලපුව, කළපු තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී සඟවා තැබූ තහනම් දැල් 18 ක් සොයා ගැනීමට සමත් විය. මිටර් 150, 100, 300 සහ අඩි 200 ක පමණ දිගකින් යුක්ත තහනම් දැල් වන ඒවා ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, උතුරු නාවික විධා‍නයට ලද තොරතුරක් මත එම විධානයේ නාවිකයින් පිරිසක් සහ යාපනය, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් මෙන්ම යාපනය, ධීවර පරික්‍ෂක කාර්යාලයට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව පසුගිය අප්‍රේල් 26 වන දින යාපනය නගරය අශ්‍රීතව සිදු කළ වැටලීමකදී නීති විරෝධීව මසුන් ඇල්ලීම සඳහා යොදා ගනු ලබන තහනම් දැල් ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු සතුව තිබී තහනම් දැල් කිලෝග්‍රෑම් 1663 සොයා ගෙන ඇති අතර, ඒවා අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබී ඇත. එම පුද්ගලයා සහ තහනම් දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.