04 වන දකුණු ආසියා වුෂු තරඟාවලියේ නාවික හමුදා ජයග්‍රාහකයින් නාවික හමුදාධිපති හමුවෙයි
 

04 වන දකුණු ආසියා වුෂු තරඟාවලිය 2018 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවූ නාවික හමුදා වුෂු සංචිතයට අනුයුක්ත නාවිකයින් විසින් සුවිශේෂි දක්ෂතා දක්වමින් රන් පදක්කම් 03 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් හිමි කර ගනිමින් ශ්‍රී ලංකාවට මෙන්ම නාවික හමුදාවට ද කීර්තියක් අත්කර දීමට සමත් වන ලදී. ඒ අනුව ඔවුන් අද (අප්‍රේල් 18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ඇගයීමට ලක්වීය.

මෙම තරඟාවලිය පසුගිය මාර්තු මස 21 වන දින සිට මාර්තු 26 වන දින දක්වා රටවල් 08 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් පකිස්ථානයේ ලාහෝර් හිදි පවත්වන ලදි. එම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නායක නැවි මහේෂ් චන්දික, බල නැවි පැතුම් බලවර්ධන, බල නැවි මලින්ද කුමාර සහ බල ශාරීරික අභ්‍යාසක රිසිත රුමේෂ් යන නාවිකයින් සහභාගී වූ අතර, ඔවුන් පදක්කම් දිනා ගනිමින් ශ්‍රී ලංකාවට මෙන්ම නාවික හමුදාවට ද කීර්තියක් අත්කර දී ඇත.

එම අවස්ථාව සඳහා නාවික හමුදා වුෂු ක්‍රීඩා සංචිතයේ සභාපති, ලුතිනන් කොමාණ්ඩර් මොහොමඩ් ෆයිසාල් මහතා, නාවික හමුදා වුෂු සංචිතයේ පුහුණුකරුවන් වන නායක නැවි ප්‍රියංකර විජය, නායක නැවි නුවන් රාජපක්ෂ සහ නායක නැවි ප්‍රියන්ත දිසානායක මෙන්ම නාවික හමුදා වුෂු සංචිතය භාර ජ්‍යෙෂ්ඨ නාවික සුළු නිලධාරි ප්‍රදීප් කුමාර ද සහභාගී වි සිටියහ.