නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 36 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 36 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම සහ නීති විරෝධී විදේශීය සැරබීම ප්‍රවාහනය කිරීම යන හේතූන් මත නාවික හමුදා භාරයට ගෙන ඇත.

වයඹ නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය අප්‍රේල් 11 වන දින කුදිරමලෛයි මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයකදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඩිංගි යාත්‍රා දෙකක්, තහනම් දැල් 09 ක් සහ අල්ලන ලද මසුන් කිලෝගෑම් 373 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රා, මත්ස්‍ය තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙත භාර දෙන ලදී.

පසුගිය අප්‍රේල් 11 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නැගෙනහිර මුහුදු තීරයේදී සිදු කරන ලද මුර සංචාරයකදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඩිංගි යාත්‍රා 04 ක්, තහනම් දැල් 04 ක් සහ අල්ලන ලද මසුන් කිලෝගෑම් 2149 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රා, මත්ස්‍ය තොගය සහ අනෙකුත් ධීවර අම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙත භාර දෙන ලදී.

ඒ අනුව, නාවික හමුදාවට ලද ‍තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ සිදූව, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව පසුගිය අප්‍රේල් 11 වන දින කොළඹ 07 ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී විදේශීය සැරබීම බෝතල් 60 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම විදේශීය සැරබිම තොගය විකිණීම සඳහා මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී නාවික හමුදා භාරයට ගෙන ඇත. තවද, අත්අඩංගුවට ගත් පුද්ගලයා කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, එම පුද්ගලයා, සැරබීම තොගය සහ ‍මෝටර් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කුරුදුවත්ත, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.