නාවික හමුදාවේ 401 වන ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය තිඹිරියාව ගම්මනායට
 

නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් පසුගිය අප්‍රේල් 07 වන දින නිමාවට පත් විය. ඒ අනුව, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් නිපදවන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් නිකවැරටිය, තිඹිරියාව ගම්මානයේදී නාවික හමුදා නියෝජය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරිණි. එමගින් ප්‍රදේශයේ පවුල් 350 කට පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය ඉටු කර දීමට නාවික හමුදාව සිය දායකත්වය සපයා ඇත.

මාරාන්තික වකුගඩු රෝගයෙන් පීඩා විදින ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම අරමුණු කර ගනිමින් අතිගරු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව වකුගඩු නිවාරණ ජනාධිපති කාර්යය සාධක බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුලික ශ්‍රම දායකත්වය මත දිස්ත්‍රික්ක 12 ක් ආවරණය වන පරිදි ප්‍රති ආශ්‍රැත ජල පිරි පහදු යන්ත්‍ර ස්ථාපිත කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත. එමෙන්ම, 2015 වර්ෂයේ සිට මේ දක්වා ප්‍රති ආශ්‍රැත ජල පිරි පහදු 401 ක ප්‍රමාණයක් ඉතා සාර්ථකව ස්ථාපිත කිරීමට කටයුතු කර ඇති අතර, 2018 වර්ෂයේ පමණක් යන්ත්‍ර 53 ක වැඩ කටයුතු අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කර ඇත.

තවද, වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයේ කොටස් කරුවෙකු වන නාවික හමුදාව, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය හා එක්ව දිවයිනේ වකුගඩු රෝගය බහුලව ව්‍යාප්තව පවතින දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරමින් සිටී.