නීති විරෝධී කටයුතු වල නිරත පුද්ගලයින් 8 දෙනෙකු නාවික හමුදා භාරයට
 

පසුගිය දින කිහිපය තුළ ප්‍රදේශයන් කිහිපයකදී නීති විරෝධී කටයුතු වල නිරත වූ පුද්ගලයින් 8 දෙනෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදී. ඔවුන් මත්කුඩු ලඟ තබා ගැනීම සහ නීති විරෝධී ධීවර කටයුතු වල නිරත වීම හේතුවෙන් මෙලෙස නාවික හමුදා අත්අඩංගුවට පත් විය.

ඒ අනුව, නාවික හමුදාවට ලද තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් සහ කොටුව පොලිස් අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව පසුගිය පෙබරවාරි 19 වන දින කොච්චිකඩේ ප්‍රදේශයේදී එක්ටැසි (Ecstasy) නම් මත්කුඩු ග්‍රෑම් 100 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ඉලවාලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එම පුද්ගලයා විකිණීම සඳහා මෙම මත්කුඩු ප්‍රමාණය රැගෙන යමින් සිට ඇත. එම පුද්ගලයා සහ මත්කුඩු ඉදිරි නීතිමය කටයුතු සඳහා කොටුව පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණ.

බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් සහ ගෝනහේන පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව පසුගිය පෙබරවාරි මස 23 වන දින බොරලැස්ගමුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 360 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එම ප්‍රදේශයේම පදිංචි 46 හැවිරිදි සැකකරු සහ හෙරොයින් ප්‍රමාණය ඉදිරි නීතිමය කටයුතු සඳහා බොරලැස්ගමුව පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

පසුගිය පෙබරවාරි මස 21 වන දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන්, මුලතිව් පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එක්ව මුලතිව් මුහුදු ප්‍රදේ‍ශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීතී විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ ඩිංගි යාත්‍රා 7 ක් සහ තහනම් දැල් 97 ක්ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයින් සහ තහනම් දැල් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිව් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කරන ලදී.

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය පෙබරවාරි 23 වන දින සින්නපාඩු මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයින් තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වී සිට ඇති අතර, ඔවුන් සතුව තිබූ ඩිංගි යාත්‍රාවක් සහ තහනම් දැලක් ද එහිදී අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයින් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.