තිරසර කෘෂිකාර්මික සංවර්ධනයක් ළඟා කර ගැනීමට කැපවන බවට නාවික හමුදාව දිවුරුම් දෙයි
 

උදා වූ 2018 නව වර්ෂයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (ජනවාරි 02) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරිණි.

එකම රටක්, එකම දැයක් තුළ එක කොඩියක සෙවණේ එක්සත්ව හා එක්සිත්ව විකසිත වන මාතෘ භූමිය සංවර්ධනය කිරීමේ දැවැන්ත අභියෝගය ජය ගැනීම සඳහාත්, සැමට ප්‍රතිලාභ හිමි වන වේගවත් සංවර්ධනයක් තුළින් 2018 වර්ෂයේ දී ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහාත් ශ්‍රී ලාංකික ජනතාවට සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කිරීම සඳහාත් හැකි උපරිමයෙන් කැපවන බවට එහිදී සියලුම නාවික හමුදා සාමාජිකයින් ප්‍රතිඥා දෙමින් ප්‍රකාශ කරන ලදී.

එම අවස්ථාවට සහභාගී වී සිටි පිරිස ඇමතූ රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා පළමුවෙන්ම, ලැබුවා වූ 2018 නව වසර සියලු දෙනා හට සෞභාග්‍යමත් ඉසුරින් පිරි වසරක් බවට පත් වේවායි සුභ පැතුම් එක් කරන ලදී. එමෙන්ම, තමන් හට පැවරී ඇති රාජකාරීන් නිසි අයුරින් ඉටු කිරීමේ වැදගත්කම මෙන්ම මාතෘ භූමියේ සංවර්ධනය හා උන්නතිය උදෙසා තමන්ට පැවරී ඇති රාජකාරීන් හා වගකීම් කාර්යක්ෂමව, සඵලදායීව, තිර අදිටනින් යුතුව, උපරිම කැපවීමෙන් සහ අවංකභාවයෙන් ඉටු කළ යුතු බවද අවධාරණය කරන ලදී. එමෙන්ම, මෙවර විශේෂ කරුණක් ලෙස දක්වා ඇති තිරසර කෘෂිකාර්මක සංවර්ධනය ඉටු කිරීම සඳහා හැකි අයුරින් දායකත්වය ලබා දෙනු ඇතැයි ද අපේක්ෂා කරන බවත් එතුමා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

මෙම අවස්ථා‍ව සඳහා නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්‍ වරුන්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් මෙන්ම සිවිල් සේවක මහත්ම මහත්මීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ. එමෙන්ම මිට සමගාමිව සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි නාවික හමුදා සාමාජිකයින් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරිණි.