නීති විරෝධී ලෙස වාලම්පුරි විකිණීමට සූදානම් වූ පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

නාවික හමුදාවට ලද තොරතුරක් මත වැල්ලවත්ත ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ වත්තල පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 01) වත්තල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අධික වටිනාකමකින් යුත් ටයිටන් වර්ගයේ වාලම්පුරියක් සමඟ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

නීති විරෝධී ලෙස විකිණීම සඳහා සූදානම් කර තිබූ මෙම වාලම්පුරිය සෙන්ටිමීටර් 43 ක දිගකින් යුක්ත වන අතර, ග්‍රෑම් 750 ක බරකින් යුක්ත විය. එම පුද්ගලයින් සහ වාලම්පුරිය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා වත්තල පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදාවට ලද තොරතුරකට අනුව හලාවත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ වාරියපොල පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව දෙසැම්බර් 30 වන දින සිදු කළ සෝදිසි කිරීමකදී, ත්‍රීරෝද රථයක් මඟින් ප්‍රවාහනය කරමින් තිබූ ගෞරී වර්ගයේ වාලම්පුරියක් සමඟ පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

විකිණීම සඳහා නීති විරෝධී ලෙස ප්‍රවාහනය කළ එම වාලම්පුරිය අගල් 6 ක පමණ උසකින් යුත් අතර, එහි බර ග්‍රෑම් 600 ක් විය. එම පුද්ගලයින් වාලම්පුරිය සහ ත්‍රිරෝද රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා වාරියපොල පොලීසිය වෙත භාර දීමට කටයුතු කර ඇත.