නීති විරෝධී සංක්‍රමණිකයන් පිරිසක් අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ ආරච්චිකට්ටුව පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (නොවැම්බර් 30) නීති විරෝධී ලෙස මුහුදු මඟින් මෙරටින් පිට වීමට උත්සාහ දැරූ පුද්ගලයින් 32 දෙදෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.

ලද තොරතුරු අනුව උඩප්පුව, නගුල්එළිය මුහුදු ප්‍රදේශයේ නාවික සැතපුම් 5 ක පමණ දුරකින් ‍සැකකටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් යාත්‍රා කරන බව නාවික හමුදාව නිරීක්ෂණය කොට ඇත. ඒ අනුව එම යාත්‍රාව දෙසට නාවික හමුදා වෙරළබඩ මුර යාත්‍රාවක් පිටත් කර යවා ඇති අතර, එහිදී ‍එම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කරන ලදී. අත්අඩංගුවට ගත් පුද්ගලයින් උඩප්පුව, මන්නාරම සහ යාපනය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් ලෙස හදුනා ගෙන ඇත. ඔවුන් නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඕස්ට්‍රේලියාව බලා යෑමට උත්සාහ කර ඇති බවට සැක පළ ‍කරන අතර, ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම පුද්ගලයින් සහ යාත්‍රාව ආරච්චිකට්ටුව පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.