නාවික නිලධාරීන් 10 දෙනෙකු කැලණිය විශ්වවිද්‍යාලයෙන් සිය උපාධි ලබා ගනී
 

නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් උපාධිය හදාරන ලද නාවික නිලධාරීන් 10 දෙනෙකු පසුගිය නොවැම්බර් මස 20 වන දින කැලණිය විශ්වවිද්‍යාලය මඟින් පිරිනමනු ලැබූ සිය උපාධි හිමි කර ගන්නා ලදී. බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති එම උපාධි ප්‍රදානෝත්සවය කැලණිය විශ්ව විද්‍යාලය මඟින් පවත්වන ලද 96 වන උපාධි පිරිනැමීමේ අවස්ථාව බවට සනිටුහන් විය.

මෙම උපාධි ප්‍රදානෝත්සවය කොළඹ සහ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, ත්‍රිපිටක වාගීෂ්වරාචාර්ය, මහෝපාද්‍ය පණ්ඩිත අතිපූජ්‍ය වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්ම ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. එම අවස්ථාව සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති, මහාචාර්ය ඩීඑම් සේමසිංහ මහතා, නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ලක්ෂ්මන් සෙනවිරත්න මහතා, පීඨාධිපතිවරුන් සහ නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කොමදෝරු කස්සප පෝල් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.

මෙහිදී උපාධිධාරීන් 450 දෙනෙකු හට උපාධි සහතික පත් පිරිනමන ලද අතර, මතු සඳහන් නාවික නිලධාරීන් එම අවස්ථාවේදී නාවික හා සාගරික විද්‍යාවේදී සහ නාවික සැපයුම් කළමණාකරන විද්‍යාවේදී උපාධි හිමි කර ගන්නා ලදී.

 

ලුතිනන් ඊඑච් අන්ගම්මන
ලුතිනන් එල්යූඒඩබ්සී ලන්සක්කාර
ලුතිනන් එල්ඒපීඩී අතුකෝරාල
ලුතිනන් ටීඑස්පීපී දැරණියගල
ලුතිනන් (සැ) එච්එන් ප්‍රනාන්දු
ලුතිනන් (සැ) ටීජී කොඩිතුවක්කු
ලුතිනන් (සැ) එන්කේසීජී නානායක්කාර
ලුතිනන් (සැ) කේඒආර් අබයරත්න
ලුතිනන් (සැ) එම්ඩබ්එස්ටීකේ මැදිවක
ලුතිනන් (සැ) ඩීකේපී රත්නසේකර