ඉන්දුනීසියානු රුවල් නෞකාවක් කොළඹ වරායට සේන්දු වෙයි
 

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් රුවල් නෞකාවක් වන ‘බිම සුකී’ අද (ඔක්තෝබර් 30) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.

ඉන් අනතුරුව නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් විදියට්මොකෝ බරුනෝ අජි මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති, ගුස්තී ගුරා ආර්ඩියාසා මහතා නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය. එහිදී නව නාවික හමුදාධිපතිතුමන් වෙත ඔවුන් සිය සුභාෂිංසන පිරිනමන ලදී. ඉන් අනතුරුව ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසදරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.   

තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකා කාර්යය මණ්ඩලය දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්‍රීඩා තරඟ ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා ද සහභාගී වීමට නියමිතව ඇත. නිල සංචාරයෙන් අනතුරුව එළඹෙන නොවැම්බර් මස 02 වන දින මෙම නෞකාව ‍කොළඹ වරායෙන් පිටත් වීමට නියමිතය.