නාවික හමුදාධිපතිතුමා නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
 

නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා, නාවික හමුදාධිපති ධූරයේ වැඩභාර ගැනීමෙන් පසු අද දින (අගෝස්තු 26) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදී, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා විසින් නාවික හමුදාධිපතිතුමා උණුසුම් අයුරින් පිළිගත් අතර, නාවික හමුදා විශේෂ සම්මාන ආචාර මුරයක් ද එතුමා වෙත පුද කෙරිණි.

මෙම සංචාරයට සමගාමීව නැගෙනහිර නාවික විධානයේ ඉදිකිරීම් කිහිපයක් නිළ වශයෙන් විවෘත කිරීමද නාවික හමුදාධිපතිතුමා අතින් සිදු විය. මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති තුමන්ගේ දයාබර බිරිඳ, තිරුනි සින්නයියා මැතිණිය සහ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

ඒ අනුව, ප්‍රථමයෙන්ම ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨ ප්‍රධාන සරඹ පිටියේදී නාවික හමුදාධිපතිතුමාගේ අංශ පිරික්සුම පැවැත්විය. ඉන් අනතුරුව එතුමා සියළුම නාවික පුද්ගලයන් අමතා කෙටි දේශනයක් පැවැත්වීය. නාවික හමුදාධිපතිතුමාගේ ප්‍රථම නැගෙනහිර නාවික විධාන සංචාරය සනිටුහන් කරමින් එතුමා අතින් නාවික මැදුරේ පැළ 2 ක් රෝපනය කිරීම ද එහිදී සිදුවිය.

මෙයට සමගාමීව, නාවික තඨාකාංගණයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය නාවික හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරිණි. නාවික හමුදාවේ මූල්‍යමය දායකත්වය යටතේ නාවික පුද්ගලයින්ගේ දැනුම සහ තාක්ෂණික හැකියාව උපයෝගී කර ගනිමින් මෙම ජල පිරිපහදු යන්ත්‍රය ස්ථාපිත කර ඇත. ඉන් අනතුරුව, එතුමා නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී නැගෙනහිර නාවික විධානය භාර නව ආඥාපතිතුමන් හට නිල වශයෙන් රාජකාරී භාර දීම සිදු කෙරිණි.

මෙයට සමගාමීව විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද කාය වර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීමද නාවික හමුදාධිපතිතුමන්ගේ සුරතින් සිදු කෙරිණි. නවීන පන්නයේ කාය වර්ධන උපකරණ ඇතුළු අනෙකුත් සියළුම පහසුකම් වලින් යුක්තව ඉදි කර ඇති මෙම කාය වර්ධන මධ්‍යස්ථානය විශේෂ යාත්‍රා බලඝණ නාවිකයන්ගේ කායික යෝග්‍යතාවය ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා ඉවහල් වේ. එම කර්තව්‍යයෙන් අනතුරුව, නාවික හමුදාධිපතිතුමන් නැගෙනහිර නාවික විධානයේ සියළුම නිලධාරීන් ඇමතීමට ද කටයුතු කෙරිණි. එහිදී, ඔවුන්ට පැවරී ඇති රාජකාරීන් මැනවින් ඉටු කිරීම උදෙසා අවශ්‍ය උපදෙස් රැසක් ඇතුළු ඉතා වැදගත් කාරණා කීපයක් අවධාරණය කළ එතුමා එම සියළු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා යැයි සුභ පැතුම් එක් කරන ලදී.

මේ අතර, නාවික හමුදාධිපතිතුමන් සහ එතුමාගේ දයාබර බිරිඳ, තිරුනි සින්නයියා මැතිණිය ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආතනයේ නාවික පෙර පාසලෙහි සංචාරයක නිරත විය. පෙර පාසලේ ඉගනුම ලබන සිසු දරු දැරියන් සහ කාර්යය මණ්ඩලයේ ගුරුතුමියන් විසින් ඔවුන් දෙදෙනා ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී. එහිදී, තිරුනි සින්නයියා මැතිණිය පෙර පාසලේ දරු දැරියන්ගේ පන්ති කාමරයන්හි නිරීක්ෂණයක නිරත වූ අතර, අනෙකුත් පහසුකම් පිළිබඳව ද විමසා බලන ලදී. එම දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය උසස් අයුරින් පවත්වාගෙන යාම උදෙසා ගුරුවරුන් දක්වන කැපවීම ඇය ඉහළින් අගය කළාය. එම අවස්ථාව සනිටුහන් කරමින් එතුමිය විසින් පැලයක් රෝපණය කිරීමට ද කටයුතු කරන ලදී. ඉන් අනතුරුව එතුමිය, නාවික හමුදා සේවා වනිතා සුභසාධක වෙළඳ සැලේ නිරීක්ෂණ චාරිකාවාරයක නිරත විය.

නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවති නාවික හමුදාධිපතිතුමාගේ අංශ පිරික්සුම


නාවික හමුදාධිපතිතුමන් විසින් නාවික මැදුරේ පැල 2 ක් රෝපනය කිරීම


නාවික හමුදාධිපතිතුමන් අතින් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කිරීම


නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති තනතුරේ වැඩ භාර දීම


නාවික හමුදාධිපතිතුමන් අතින් විශේෂ යාත්‍රා බලඝණයේ කාය වර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීම


නාවික හමුදාධිපතිතුමන් නැගෙනහිර නාවික විධානයේ නිලධාරීන් ඇමතීම


නාවික හමුදාධිපතිතුමා සහ තිරුනි සින්නයියා මැතිණිය තිස්ස පෙර පාසලේ සිදු කළ සංචාරය