ශ්‍රී ලංකාවේ ප්‍රථම පාරිසරික සංවේදී දර්ශක ව්‍යාපෘතිය සඳහා නාවික හමුදා සහාය
 

ශ්‍රී ලංකාව සඳහා වූ ප්‍රථම පරිසර සංවේදී දර්ශක ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ලබා දී ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද යුද හමුදා ඉංජිනේරු බලකාය සහ අනෙකුත් ශ්‍රී ලාංකීය පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් කොළඹ සිට මීගමුව දක්වා වූ ප්‍රදේශයන් ආවරණය කරමින් සිදු කරන ලද එම ව්‍යාපෘතිය 2017 අගෝස්තු 23 වන දින සාර්ථකව නිමාවට පත් විය.

පරිසර සංවේදී දර්ශක සිතියම්, තෙල් විසුරුමකදී අවදානමට ලක්වන වෙරළාශ්‍රිත සම්පත් පිළිබඳ  සංෂිප්ත තොරතුරු ලබා දීමට උපකාරි වේ. තෙල් විසුරුමකදී ඒ සඳහා ප්‍රතිචාර දක්වන්නන් ගේ ප්‍රධාන අරමුණු වන පරිසර හානිය අවම කිරීම සහ පිරිපහදු කිරීම් ක්‍රියාවට නැංවීම සඳහා එම සිතියම් ඔවුනට මහෝපකාරි වේ.

මෙම ව්‍යාපෘතිය 2014 නොවැම්බර් මස කොළඹදී පැවති දකුණු ආසියානු තෙල් විසුරුම් ප්‍රතිචාර දක්වන්නන් සඳහා වූ වැඩ මුළුවේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රියාත්මක කෙරිණි.  ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය ඒ සඳහා ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර ආඥා බල ප්‍රදේශයෙන් නිල වශයෙන් සහාය ඉල්ලා සිටි අතර ඒ අනුව ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කෙරෙන ඇමරිකා එක්සත් ජනපද යුද හමුදා ඉංජිනේරු බලකාය මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවට සහය ලබා දීමට නම් කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව ව්‍යාපෘතියේ ප්‍රධාන සම්බන්ධීකාරක සහ පහසුකම් සපයන්නා ලෙස ක්‍රියා කරන ලදී. ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය, ඇමරිකා එක්සත් ජනපද යුද හමුදා ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ නියෝජිතවරුන් සහ අනෙකුත් දේශීය පාර්ශ්වකරුවන් අතර සාකච්ඡා මාලාවක්ද පැවැත්විණි. 2016 ජූලි මස ආරම්භ කරන ලද ව්‍යාපාතිය අදියර 3 කින් ක්‍රියාවට නැංවිණි. දේශීය ආයතන රාශියක් ඒ සඳහා දත්ත සපයන ලද අතර දෙවන අදියරහිදී ක්‍රියාවට නැවුණු ක්‍ෂේත්‍ර අධ්‍යයන කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුහුදු මිනුම්දෝරුවන්, ජීඅයිඑස් (GIS) විශේෂඥයින්, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ජාතික ජලජ සම්පත් නියෝජිත ආයතනය, මධ්‍යම පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජිතවරුන් සහ රුහුණු සහ වයඹ විශ්වවිද්‍යාල සිසු සිසුවියන් සිය සහාය ලබා දෙන ලදි. ඇමරිකා එක්සත් ජනපද යුද හමුදා ඉංජිනේරු බලකායේ ජස්ටින් පමෙල් මහතා සහ බෙන්ටන් චින්ග් මහතා ශ්‍රී ලාංකීය ක්ෂේත්‍ර අධ්‍යාපන කණ්ඩායම් වලට අවශ්‍යය තාක්ෂණික සහාය සහ පුහුණුව ලබා දෙන ලදි.

දත්ත විශ්ලේෂණයට සහ සිතියම් පොත හා  භූ විද්‍යා දත්ත ගබඩා පිළියෙල කිරීමටද ඔවුන්ගේ සහාය දක්වා ඇත. එලෙස සම්පාදනය කරන ලද පරිසර සංවේදී දර්ශක සිතියම් පොත 2017 ජූලි මස 21 වන දින කොළඹ දී අදාළ පාර්ශවකරුවන් වෙත පිරිනමන ලදි. තවද, පාර්ශවකරුවන්ගේ තාක්ෂණ නිලධාරින් සඳහා තෙල් විසුරුමකදී පරිසර සංවේදී දර්ශක සිතියම් පොත සහ අදාළ දත්ත ගබඩාව භාවිතා කිරීම පිළිබඳ පුහුණු වැඩමුළුවක්  ද පැවැත්විණි.