නාවික හමුදාධිපතිතුමන් ගාල්ල සමුද්‍රිය ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානයේ නිරික්ෂණ චාරිකාවක
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (අගෝස්තු 07) ගාල්ල සමුද්‍රිය ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානයේ ඉදිවෙමින් පවතින පහසුකම් පිළිබඳව අධ්‍යනය කිරිමේ නිරික්ෂණ චාරිකා වාරයක නිරත විය. ඉන්දියන් සාගරය ආශ්‍රිතව යාත්‍රා කරනු ලබන නෙදර්ලන්ත වෙළඳ නෞකා සඳහා ආරක්ෂක පහසුකම් සැපයිම පිළිබඳව ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථානයේ ඇති සුදානම නිරික්ෂණය කිරීම මෙම චාරිකාවේ අරමුණ විය.

ඒ අනුව ඉදිරි සති කිහිපය තුල නෙදර්ලන්ත වෙළඳ නෞකාවන්හි ආරක්ෂක රාජකාරින් වල නිරත නෙදර්ලන්ත මැරීන් භටයින්, ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් සේවා පහසුකම් ලබා ගැනීමට සහ ඔවුන්ගේ අවි අයුධ සුරක්ෂිතව ගබඩා කිරිමේ පහසුකම් ලබා ගැනීමට ද නියමිතය. ඉන්දියානු සාගර කලාපයේ යාත්‍රා කරනු ලබන නෙදර්ලන්ත වෙළඳ නෞකාවන්ට ආරක්ෂාව සපයනු ලබන්නේ නෙදර්ලන්ත මැරීන් භටයින් විසිනි.

2017 මැයි මස 16 වන දින නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර උක්ත කරුණු සම්බන්ධයෙන් ඇති කරගත් එකඟතාවයක් මත මෙම සේවා පහසුකම් සැපයීම සිදු කරනු ලබයි. එම අවස්ථාව සඳහා හිටපු ආරක්ෂක ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහ නේදර්ලන්ත සභාපතිණි ගරු ජොඈන් ඩූන්වර්ඩ් මහත්මිය එක් විය. තවද, මෙම අවස්ථාව සදහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා සහ නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සහභාගී වූහ. මෙම ගිවිසුම සම්බන්ධයෙන් වු පූර්ව සාකච්ජා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද අතර, එම සාකච්ඡාවන් පසුගිය ගාලු කාතිකාව අන්තර් ජාතික සාගරික සම්මන්ත්‍රණයේදී පවත්වන ලදී.

ලොව නවීනතම වෙළද නෞකා සමූහයකට උරුමකම් කියන නෙදර්ලන්තය, 1,200 කට අධික වෙළඳ නෞකා පංතියකින් සමන්විත වේ. නෙදර්ලන්තයේ බොහෝ නෞකා සමාගම් සිය මෙහෙයුම් සීග්‍රයෙන් වර්ධනය කරගෙන ඇති අතර, නෙඩ්ලොයිඩ්, නෙදර්ලන්ඩ් ලයින් සහ එපිල් වැනි සමාගම් ඉන්දියන් සාගරය තුල ඔවුන්ගේ වෙළඳ කටයුතු බහුලව සිදු කරමින් පවතී.

ශ්‍රී ලංකා රජය, විදේශ රාජ්‍යයක් සමඟ සමුද්‍රීය ආරක්ෂක රාජකාරී සඳහා පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ඇති කරගත් ප්‍රථම අවබෝධතා ගිවිසුම වශයෙන් මෙය සනිටුහන් වීම විශේෂත්වයකි.

අතිගරු ජනාධිපතිතුමන්ගේ විශේෂ උපදෙස් අනුව සාගර ආරක්ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීම 2015 නොවැම්බර් මස 13 වන දින නාවික හමුදාව විසින් භාර ගන්නා ලදී. මේ දක්වා ගාල්ල, හම්බන්තොට සහ කොළඹ යන මෙහෙයුම් මධ්‍යස්ථාන මගින් නෞකා ගමන්වාර 11,105 කට පහසුකම් සැපයීම මගින් රු 3,855,685,681.60 ක අති විශාල මුදලක් රජය වෙත උපයා දී ඇත.

වෙළද නෞකාවන් සදහා ආරක්ෂක පහසුකම් සපයනු ලබන ආරක්ෂක ආයතන විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ලබා දෙනු ලබන මෙම ඉතා කාර්යක්ෂම සේවය ඉමහත් පැසසුමට ලක් කර ඇත. ඒ අතරින් ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් සපයනු ලබන සේවාවන් ප්‍රමුඛ ස්ථානයක් ගනු ලබයි.