නාවික කුසලානය - 2017, 14 න් පහළ සත් සාමාජික පාපන්දු අවසන් තරඟාවලිය යාපනයේදී
 

උතුරු නාවික විධානය මගින් සංවිධානය කරනු ලබන නාවික කුසලාන 2017, 14 න් පහල සත් සාමාජික පාපන්දු තරඟාවලියේ අවසන් තරඟ ඊයේ (අගෝස්තු 05) යාපනය දුරෙයප්පා ක්‍රීඩාංගනයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

යාපනය අර්ධද්වීපය කේන්ද්‍ර කර ගනිමින් නාවික හමුදාව විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද මෙම තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම්, එන් වේදනායහන් මහතා සහභාගී විය. ගරු උතුරු පලාත් ආණ්ඩුකාරතුමන්ගේ ලේකම් තුමා, යුද හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන්, සෙසු නිලයන්, පාසල් වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් මෙන්ම සිසු දරු දැරියන් විශාල පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.

උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා විසින් මෙම තරඟාවලිය නිල වශයෙන් ආරම්භ කළ අතර, ඒ සඳහා උතුරු පලාත නියෝජනය කරමින් යාපනය දිස්ත්‍රික්කයේ ජනප්‍රිය පාසල් 6 ක් සහ දූපත් ක්‍රීඩා සමාජ ක්‍රීඩා කණ්ඩායම් 6 ක් නියෝජනය කරමින් 14 න් පහල ක්‍රීඩකයින් රැසක් එක්ව සිටියහ.

ඒ අනුව, තරඟාවලියේ අවසන් වටයේ තරඟයෙන් ජයග්‍රහණය අත් කර ගත්, යාපනය, ශාන්ත පැට්‍රික් විද්‍යාලය, එම තරඟාවලියේ ජයග්‍රාහී කුසලානය දිනා ගැනීමට සමත් වූ අතර, එහි අනු ශූරතාවය යාපනය මධ්‍ය මහා විද්‍යාලයට හිමි විය. එහිදී, දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය දිනා ගැනීමට වී රෝහිත් සමත් වූ අතර, දක්ෂතම පන්දු රකින්නා වශයෙන් ජයග්‍රාහී කණ්ඩායම නියෝජනය කළ ඒ ආර්නල්ඩ් කුසලානය හිමි කර ගන්නා ලදී.

වත්මන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයක් මත, යාපනය අර්ධද්වීපයේ පාසල් දරු දැරියන්ගේ ක්‍රීඩා කුසලතාවයන් ඔප් නංවනු වස්, 2016 වර්ෂයේදී පාපන්දු ක්‍රීඩාව පුහුණු කිරීමේ කටයුතු ආරම්භ කෙරිණි. එම පුහුණු කටයුතු සාර්ථක කර ගැනීම සඳහා නාවික හමුදාව නියෝජනය කරන දක්ෂ පාපන්දු ක්‍රීඩකයන් 7 දෙනෙක් සහ නිලධාරීයෙක් අනුයුක්ත කරන ලදී.

යාපනය දිස්ත්‍රික්කයේ දූපත් වාසී පාපන්දු ක්‍රීඩකයින් 200 කට අධික පිරිසක් මෙම පුහුණු කඳවුරු සඳහා සහභාගී වී ඇත. මේ අතර, පුහුණු කාල සීමාව තුළදී, මෙම දරුවන්ට අවශ්‍ය පෝෂණ අතිරේක සහ ශක්ති ජනකයන් පිරිනැමීමට ද නාවික හමුදාව කටයුතු කරන ලදී. එමෙන්ම, ඔවුන්ට ක්‍රීඩා කිරීමේදී අවශ්‍ය වන ක්‍රීඩා පාවහන්, ක්‍රීඩා ඇදුම් ඇතුළු අත්‍යාවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ සැපයීම ද මෙම පුහුණු කදවුර මගින් සිදු කෙරිණි.

යාපනය අර්ධද්වීපයේ පාසල් දැරියන් අතර, පාපන්දු ක්‍රීඩාව ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත් කිරීමේ සහ එම අවස්ථාව වර්ණවත් කිරීමේ අරමුණින් යුතුව මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා නාවික හමුදා සහ ගුවන් හමුදා කාන්තා පාපන්දු කණ්ඩායම් අතර ප්‍රදර්ශණ තරඟයක් ද පැවැත්විය. එහිදී, ගෝල 2 කින් නාවික හමුදා කණ්ඩායම සිය ප්‍රතිවාදී පිල පරාජයට පත් කරමින් ජයග්‍රහණය අත් කර ගැනීමට සමත් වන ලදී.

තවද, සියළුම ජයග්‍රාහී කණ්ඩායම් සහ ක්‍රීඩකයින් සඳහා වටිනා ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කළ අතර, සහභාගී වූ සියළුම ක්‍රීඩකයින් හට පාපන්දු ක්‍රීඩාව කෙරෙහි ඔවුන් දක්වන දක්ෂතාවය සහ කැපවීම අගය කරනු වස් සහතික පත්‍ර ප්‍රදානයක් ද සිදු කෙරිණි.