චීන නාවික හමුදාවේ රෝහල් නෞකාවක් වන ‘හෙපින්ග්ෆැන්ග්ශු’ (Ark Peace) නෞකාව කොළඹ වරායට පැමිණෙයි
 

චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාවක් වන 'හෙපින්ග් ෆැන්ග්ශු' (Hepingfangzhou) නෞකාව සුහද සංචාරයක් සඳහා අද (අගෝස්තු 06) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර,එහිදී, නාවික සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.

එම අවස්ථාව සඳහා බටහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු සනත් උත්පල මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ. තවද, ශ්‍රී ලංකාවේ වෙසෙන චීන ජාතිකයන් විශාල පිරිසක් ද සිය රටේ නෞකාව ඇතුළු පිරිස හරසරින් පිළිගැනීම සඳහා වරාය පරිශ්‍රයට පැමිණ සිටින ලදී.

ලෝකය පුරා ඇතිවන හදිසි ආපදා තත්ත්වයන්ට ක්ෂණිකව මානුෂීය සහන ලබා දීමේ අරමුණින් යුතුව මෙම නෞකාව නිර්මාණය කර ඇති අතර, උසස්ම තාක්ෂණයෙන් පරිපූර්ණ මෙම නෞකාව ‘ආර්ක් පීස්’ (Ark Peace) නමින් ද හදුන්වනු ලබයි. මහජන චීන සමූහාන්ඩුව විසින් නිර්මාණය කොට නිපදවා ‍ඇති මෙම රෝහල් නෞකාව දිගින් මීටර් 178 ක් සහ පළල මීටර් 24 ක් වේ. මෙහි 381 දෙනෙකුගෙන් යුත් නෞකා කර්යය මණ්ඩලයක් රාජකාරී කරන අතර, ලොව පුරා සංචාරය කරමින් 120,000 කට වැඩි පිරිසකට මෙමගින් වෛද්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කර ඇත.නවීන පහසුකම් වලින් යුත් ශල්‍යගාර, දැඩි සත්කාර ඒකක, විශේෂඥ වෛද්‍ය සේවාවන්, නේවාසික ප්‍රථිකාර ඒකක, CT පරිලෝකන යන්ත්‍ර(Computerized Tomography machine)ඇතුළු සියළුම වෛද්‍ය පහසුකම් මෙම නෞකාව සතුය.එමෙන්ම හදිසි අවස්ථාවකදී කඩිනමින් රෝගීන් ප්‍රවාහනය කිරීම සඳහා හෙලිකොප්ටර් යානයක් ද නෞකාව සතුව පවතී.

සිව් දින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී, චීන නාවික හමුදාවේ නැගෙනහිර නාවික දියත් විධානයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ගුආන් බේයිලින් මහතා, එහි අණදෙන නිලධාරී, කපිතාන් ගුඕ බඕෆෙන්ග් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවීමට නියමිතව ඇත.

තවද, නෞකාවේ වෛද්‍ය කාර්යය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදා වෛද්‍ය අංශයේ නාවික පුද්ගලයින් එක්ව විශේෂ වෛද්‍ය සායනයන් කිහිපයක් පැවැත්වීමට ද කටයුතු සංවිධානය කර ඇත. ‍එමෙන්ම, ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සහ වෛද්‍ය ශිෂ්‍යයන් හට මෙම වෛද්‍ය නෞකාව නැරඹීමේ මහඟු අවස්ථාව සළසා දීමට කටයුතු සූදානම් කර ඇත. මෙම නෞකාව අගෝස්තු මස 09 වන දින නැවත ‍කොළඹ වරායෙන් පිටත්වයාමට නියමිතය.