ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 4 ක් ජනතා අයිතියට
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි. එහි එක් ව්‍යාපෘතියක් ලෙස වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති ප්‍රදේශයන්හි ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලනු වස් එම ප්‍රදේශයන්හි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම හදුන්වා දිය හැක. ඒ අනුව රිදීමාලියද්ද බුබුල, ගැමුණුපුර, සෙනෙවිගම සහ කුරුවිතැන්න විද්‍යාලය යන ස්ථානයන්හි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 4 ක් අද (අගෝස්තු 04) ජනතා අයිතියට පත් කෙරිණි.

බුබුල ගම්මානයේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ගම්මානයේ පවුල් 325 කට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකි වනු ඇත. ගැමුණුපුර ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ගම්මානයේ පවුල් 475 කට සහ සෙනෙවිගම ස්ථාපනය කරන ලද ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම ගම්මානයේ පවුල් 389 කට පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම, කුරුවිතැන්න විද්‍යාලය පිහිටි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම පාසලේ දරු දැරියන් 320 කට සහ ඒ අවට ගම්මානයේ පවුල් 450 කට පිරිසිදු පානිය ජලය ලබා ගැනීමට අවස්ථාව උදා වනු ඇත. මෙම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරිම සදහා වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය මගින් මුල්‍යමය දායකත්වය ලබා දි ඇත.

නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් නිෂ්පාදනය කරන ලද මෙවැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 246 ක් මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර ඇත. එමගින් පවුල් 117,564 කට හා පාසැල් දරු දැරියන් 81,636 කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කර ඇත. තවද, ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.