ජාතික ඩෙංගු මර්ධන වැඩසහන සඳහා නාවික හමුදා සහාය
 

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ සම්බන්ධිකරණයෙන් දැනට ක්‍රියාත්මක ඩෙංගු මර්ධන වැඩසටහන් සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් සක්‍රීය දායකත්වය ලබා දෙමින් සිටි. ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශය සහ සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව ඊයේ (අගෝස්තු 03) ආරම්භ කළ තෙදින ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා නාවික හමුදාව සක්‍රීය දායකත්වය ලබා දෙන ලදි.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්විම යටතේ සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි එම ප්‍රදේශයන්හි පිහිටි පාසල් තුළ තෙදින ඩෙංගු මර්ධන වැඩසටහනක් පවත්වන ලදි. එහිදි පාසල් පරිශ්‍රයන් දැඩි ලෙස පරික්ෂාවට ලක් කර පිරිසිදු කිරිමේ කටයුතු සඳහා නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.

ඒ අනුව, අද වන විට උතුරු නාවික විධානයේ පාසල් 7 ක් සඳහා නාවික පුද්ගලයන් 129 දෙනෙක්, නැගෙනහිර නාවික විධානයේ පාසල් පාසල් 14 ක් සඳහා නාවික පුද්ගලයන් 268 දෙනෙක්, ගිණිකොන නාවික විධානය ආවරණය කරමින් පාසලක් සඳහා නාවික පුද්ගලයන් 32 ක්, දකුණු නාවික විධානයේ පාසල් 4 ක් සඳහා නාවික පුද්ගලයන් 55 දෙනෙක්, බටහිර නාවික විධානය ආශ්‍රිතව ඇති පාසල් 9 ක් සඳහා නාවික පුද්ගලයන් 173 දෙනෙක්, වයඹ නාවික විධානයේ පාසල් 5 ක් සඳහා නාවික පුද්ගලයන් 56 දෙ‍නෙක් සහ උතුරු මැද නාවික විධානය ආවරණය කරමින් පාසල් 6 ක් සඳහා නාවික පුද්ගලයන් 125 දෙනෙක් ඇතුළුව සමස්ථ නාවික පුද්ගලයින් 838 දෙනෙක් මෙම මහඟු කර්තව්‍ය සඳහා සිය දායකත්වය ලබා දෙන ලදී.

තවද, නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කර ගෙන යනු ලබන සමාජ සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් මෙම ඩෙංගු මර්ධන වැඩසටහන් සඳහා දායකත්වය ලබා දීම හැදින්විය හැකිය. මාරාන්තික ‍ඩෙංගු උවදුර මර්ධන කිරීම සඳහා දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩසටහන් සඳහා නාවික පුද්ගලයින් නිරන්තරයෙන් සිය දායකත්වය ලබා දීමට කටයුතු කර‍නු ලබයි. තවද ඉදිරියේදීත් මෙම ජාතික කර්තව්‍ය උදෙසා සිය දායකත්වය උපරිම ලෙස ලබා දීමට නාවික හමුදාව බලාපොරොත්තු වේ.