නීති විරෝධීව අල්ලන ලද කස මෝරු 5 ක් සමග පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත දකුණු නාවික විධානයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ජූලි 20) තංගල්ල ධිවර වරාය ආසන්නයේදී කස මෝරුන් 5 දෙනෙකු සමග පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ජීවත් වන වඳ විමේ තර්ජනයට ලක්ව සිටින දුර්ලබ ගණයේ මත්ස්‍ය ‍විශේෂයක් වන කස ‍මෝරු ක්‍රිලෝග්‍රෑම් 70 ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කිරිමට සුදානම් කර තිබියදි මෙලෙස අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයින්, ත්‍රිරෝද රථය සහ අල්ලන ල ද මෝරුන් ඉදිරි නීතීමය කටයුතු සඳහා තංගල්ල, ධීවර පරීක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.

"ඇලෝපිඩේ" කුලයට අයත් මෙම කස මෝරා ධීවර හා ජලජ සම්පත් පනත යටතේ, ධීවරයින්ට හෝ විනෝදයට හා ක්‍රීඩාවක්‌ ලෙස මසුන් අල්ලන කිසිම අයෙකුට ඇල්ලීම තහනම් කර ඇත. තවද, යම්කිසි බෝට්‌ටු හිමියකු හෝ නියමුවකු මියගිය කස මෝරකුගේ සිරුරක්‌ හෝ සිරුරක යම් කොටසක්‌ හෝ බෝට්‌ටුව තුළ තබා ගැනීම මෙන්ම වෙනත් බෝට්‌ටුවකට මාරු කිරීම, ගොඩබෑම, ගබඩා කිරීම, විකිණීම හෝ විකිණීම සඳහා ඉදිරිපත් කිරීමට ද අවසර නැත.