තවත් ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 4ක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් කෙරෙන ප්‍රජා සත්කාරක සේවාවන් වල එක් ව්‍යාපෘතියක් ලෙස වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති ප්‍රදේශයන්හි ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලනු වස් එම ප්‍රදේශයන්හි ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම හදුන්වා දිය හැක.

ඒ අනුව, වව්නියාව අක්කර 400 සහ පෙරියඋලුක්කුලම, තිරප්පනේ පයින්ඩිකුලම, පදවිය බෝගස්වැව යන ස්ථානයන්හි ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 4 ක් ඊයේ (21) ජනතා අයිතියට පත් කිරීමට නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය කටයුතු කරන ලදී.

වව්නියාව අක්කර 400 ප්‍රදේශයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් පවුල් 500 කට, පෙරියඋලුක්කුලම ප්‍රදේශයේ පවුල් 600, තිරප්පනේ පයින්ඩිකුලම ප්‍රදේශයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් පවුල් 650, පදවිය බෝගස්වැව ප්‍රදේශයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් ප්‍රදේශයේ පවුල් 550 ක් සදහා පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකියාව උදා වනු ඇත. තවද මෙම ජල පිරිපහදු යන්ත්‍ර සදහා ජනාධිපති වකුගඩු රෝග නිවාරණ කාර්යය සාධන බලකායේ මුල්‍ය දායකත්වය ලබා දී ඇත.

නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් නිෂ්පාදනය කරන ලද ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 215 ක් මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 104,985 කට හා පාසැල් දරු දැරියන් 76,520 කට වැඩි පිරිසකට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කර ඇත. තවද, ඉදිරියේදීත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.