බලනැවි ආර්එම්ඒ ප්‍රදීප් නාවිකයාගේ පවුලේ සාමාජිකයින් වෙත ‘නැවිරු සවියෙන්’ රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්
 

ශ්‍රී ලංකා නාවික හමුදා රාජකාරි‍යේ නිරතව සිටියදී හදිසි අනතුරකින් වියෝ වූ බලනැවි ආර්එම්ඒ ප්‍රදීප් යන නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ප්‍රදානය කරන ලදී. එයට අදාළ ප්‍රේශණපත් ප්‍රදානය කිරීම අද (ජූනි 20) අම්පාර, දෙහිඅත්තකණ්ඩියෙහි පිහිටි ඔහුගේ නිවසේ දී සිදු කෙරුණි. නැවිරු සවිය ව්‍යවස්ථානුකූලව එම මුදල් ඔහුගේ පියා ආර්එම් සිරිසේන සහ මව කේඒඩී ලලිතා යන අය වෙත භාරදීම මෙහිදී සිදු කෙරිණි.

‍මෙම නාවිකයා 2006 වර්ෂයේ අගෝස්තු මස 10 වන දින ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවට එක්වී ඇති අතර, විවිධ නාවික ආයතනයන්හි රාජකාරී සිදු කර ඇති ඔහු, මිය යන විට‍ මන්නාරම ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්තව රාජකාරී සිදු කර ඇත. හදිසි අනතුරක් හේතුවෙන් ඔහු මිය යන විට 31 වන වියේ පසු විය.

‍රජයේ නොවන අරමුදලක් ලෙස නාවික පුද්ගලයින් ගේ රක්ෂණාවරණයක් ලෙසින් පවත්වාගෙන යනු ලබන නාවික හමුදා ˝නැවිරු සවිය˝ සුවසහන රක්ෂණ අරමුදල, නාවික හමුදාධිපතිතුමන්ගේ සෘජු අධීක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලබයි. අරමුදලේ සාමාජිකයෙකුගේ හෝ ඔවුන්ගේ ළඟම ඥාතීයෙකුගේ මරණයකදී, බරපතල රෝගාබාධයකදී, සදාකාලික හෝ අර්ධ දුබලතාවයකදී, සාමාන්‍ය රෝග තත්වයන් වලදී, ශල්‍ය කර්මයකමයකදී මෙන්ම වෛද්‍ය පරීක්ෂණයන් හිදී මෙමගින් ඔවුන් වෙත රක්ෂණ වන්දි ප්‍රදානය කිරීම සිදු‍වේ.