නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 38 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජුනි 17) තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 38 දෙනෙකු නෝර්වේ දූපත අසල මුහුදු ප්‍රදේශයේදී සහ සාම්පූර් මුහුදු සීමාවේ දී අත්අඩංගුවට ගන්නා ලදී.

එහිදී, ත්‍රිකුණාමලය කිවුලියා තුඩුව ආසන්න මුහුදු සීමාවේ දී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 31 දෙනෙකු අත් අඩංගුවට ගන්නා ලද අතර, ඒ සඳහා යොදාගත් ඩිංගි යාත්‍රා 4 ක් , පිටත දහන යන්ත්‍ර 4 ක්, තහනම් දැල් 4 ක්, සහ කිමිදීම සඳහා යොදා ගන්නා මුහුණු ආවරණ 2 ක් අත්අඩංගුවට පත් විය.

තවද, සාම්පූර් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 7 දෙනෙකු සහ ඒ සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක්, තහනම් දැලක්, කිමිදීම සඳහා යොදා ගන්නා මුහුණු ආවරණයක්, පාවරල් යුගලයක් සහ මාළු කිලෝග්‍රෑම් 434 ක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පිළිවෙලින් ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්ෂක සහ කින්නියා ධීවර පරීක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.