නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 15 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජූනි 16), ත්‍රිකුණාමලයේ නොර්වේ දූපත හා පරවි දූපතට ඔබ්බෙන් වූ නිලාවේලි මුහුදු ප්‍රදේශයේ දී තහනම් දැල් යොදා ගනිමින් නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

ඒ අනුව නොර්වේ දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 7 දෙනෙකු අත් අඩංගුවට ගන්නා ලද අතර, ඒ සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක්, කිමිදීම සඳහා යොදා ගන්නා පාවරල් යුගලක්, මුහුණු ආවරණයක්, තහනම් දැලක් සහ මාළු කිලෝග්‍රෑම්130 ක් අත්අඩංගුවට ගන්නා ලදි.

තවද පරවි දූපතට ඔබ්බෙන් වූ නිලාවේලි මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලද අතර, එහිදී ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක්, කිමිදීම සඳහා යොදා ගන්නා පාවරල් යුගලක්, මුහුණු ආවරණයක් සහ මාළු දැලක් අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට පත් පුද්ගලයන්, භාණ්ඩ සහ මාළු තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරුණි.