රෝගාබාධයකින් මියගිය ගබඩා සහකාර එම්කේ කහවිටගේ පවුලේ සාමාජිකයින් වෙත “නැවිරූ සවියෙන්” රු. මිලියනයක රක්ෂණ වන්දියක්
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරි‍යේ නිරතව සිටි ගබඩා සහකාර එම්කේ කහවිට යන නාවිකයා කාලයක් තිස්සේ පැවති පිළිකා රෝගාබාධයක් හේතුවෙන් අභාවයට පත් වූ අතර, ඔහු වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙත ප්‍රදානය කරන ලදී. ඒ අනුව, ඔහුගේ මව වන හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පදිංචි කේඩීඑන් පෙරේරා මහත්විය වෙත අදාල ප්‍රේශණපත ප්‍රදානය කිරීම නාවික හමුදා මූලස්ථානයේදී අද (30) සිදු කෙරිණි.

මෙම නාවිකයා 2009 වර්ෂයේ පෙබරවාරි මස 25 වන දින ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවට එක්වී ඇත. විවිධ නාවික ආයතනයන්හි රාජකාරී සිදු කර ඇති ඔහු, මිය යන විට‍ වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයට අනුයුක්තව රාජකරී සිදු කර ඇත. රෝගී තත්ත්වය හේතුවෙන් ඔහු මිය යන විට 28 වන වියේ පසු විය.

රජයේ නොවන අරමුදලක් යටතේ නාවික පුද්ගලයින්ගේ රක්ෂණාවරණයක් ලෙසින් පවත්වාගෙන යනු ලබන නාවික හමුදා ˝නැවිරු සවිය˝ සුවසහන රක්ෂණ අරමුදල, නාවික හමුදාධිපතිතුමන්ගේ සෘජු අධීක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලබයි. අරමුදලේ සාමාජිකයෙකුගේ හෝ ඔවුන්ගේ ළඟම ඥාතීයෙකුගේ මරණයකදී, බරපතල රෝගාබාධයකදී, සදාකාලික හෝ අර්ධ දුබලතාවයකදී, සාමාන්‍ය රෝග තත්වයන් වලදී, ශල්‍ය කර්මයකමයකදී මෙන්ම වෛද්‍ය පරීක්ෂණයන් හිදී ද මෙමගින් ඔවුන් වෙත රක්ෂණ වන්දි ප්‍රදානය කිරීම සිදු‍ වේ.