ගංවතුරින් විපතට පත් ප්‍රදේශ වල ජනතාව මුදවා ගැනීමේ නාවික මෙහෙයුම් තවදුර‍ටත්
 

මේ දින වල ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා නාවික හමුදාව කටයුතු කරමින් සිටී. මේ වන විට දකුණු සහ බස්නාහිර යන පළාත් වල ඇති වී තිබෙන ගංවතුර තත්ත්වය හමුවේ, ඇති වූ හදිසි තත්ත්වයට ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් ඩිංගි යාත්‍රා 54 ක් සහිත නාවික සහන කණ්ඩායම් 54 ක් ගංවතුර අවධානම පවතින ප්‍රදේශ වලට යොමු කොට ඇත. ඔවුන් සඳහා ආපදා සහන සැලසීමේ කටයුතු වෙනුවෙන් අද (01) උදෑසන වන විට නාවික පුද්ගලයින් 658 දෙනෙකු අනුයුක්ත කොට තිබිණි.

ඒ අනුව, දකුණු පලාතේ ගං වතුරින් අවතැන් වූ ජනතාවට සහන සැළසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 29  ක් යොදවා ඇති අතර, බස්නාහිර පලාතේ ගං වතුරෙන් අවතැන් වූ ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම හා ඔවුන්ට සහන සැළසීමට ආපදා සහන කණ්ඩායම් 25 ක්ද යොදවා ඇත.

ඒ අනුව, ගාල්ල දිස්ත්‍රික්කයේ, නෙළුව, ඉමදූව, වඳුරඹ, උඩුගම, ඇල්පිටිය, අම්බලන්ගොඩ, බෝපේ පෝද්දල සහ යක්කලමුල්ල යන ප්‍රදේශ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ හේනෙකඩුව හා රන්න යන ප්‍රදේශ, මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය, මොරවක, අකුරැස්ස, පිටිබැද්දර, දෙයියන්දර යන ප්‍රදේශ, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, පරගොඩ, බදුරලිය, ගල්කැටිය, ඉලුක්පතාන, මතුගම, පැලෑන සහ වැලිපැන්න යන ප්‍රදේශයන්හි නාවික ආපදා සහන කණ්ඩායම් යොදවා ඇත.

තවද, කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලම්පිටිය, නවගමුව, හංවැල්ල, අවිස්සාවේල්ල, පාදුක්ක, අඹතලේ, කැළණිය, අංගොඩ, කඩුවෙල යන ප්‍රදේශ, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර නගරාශිතව, කලවාන, නිවිතිගල, ඇහැලියගොඩ, ඇලපාත, සමන්දේවාලය, මාරගහ මංසන්දිය, අයගම, තල්දූව, කිරිඇල්ල යන ප්‍රදේශ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම යන ප්‍රදේශයන් හිද නාවික ආපදා සහණ කණ්ඩායම් යොදවා විපතට පත්වූවන් මුදවා ගැනීමේ කටයුතු සිදු කරමින් පවතී.  

මේ අතර සහන සැලසීමේ කටයුතු වල නිරත වෛද්‍ය අංශයේ නාවිකයින් විසින් වෛද්‍ය ප්‍රථිකාර අවශ්‍ය පුද්ගලයින් 3142 දෙනෙකු සඳහා ප්‍රතිකාර ලබා දීමට ද කටයුතු කර ඇත. මිට අමතරව ළිං 589 ක් පිරිසිදු කිරීමට සහ වක්වැල්ල, පිටබැද්දර පාලම් දෙකෙහි සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට ද කටයුතු කර ඇත.

මේ වන විට නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් මගින් පුද්ගලයින් 9825 දෙනෙකු බේරා ගැනීමට සමත් වී ඇත. බේරා ගත් පුද්ගලයන් මේ වන විට ආරක්ෂිත ස්ථානයන් කරා යොමු කිරීමට ද ඔවුන් සඳහා ආහාර සළාක 226,075 ක ප්‍රමාණයක් බෙදා දීමටත් නාවික හමුදාව කටයුතු කර ඇත.

එමෙන්ම, තව දුරටත් නාවික හමුදාව විසින් අවතැන් වූවන් මුදවා ගැනීමේ සහ ඔවුන්ට සහන සැළසීමේ කටයුතු සිදු කරමින් පවතී.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක

හදිසි ආපදා ක්ෂණික ඇමතුම්

117

සාමාන්‍ය ඇමතුම්

011 2136136

හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය

011 2136222

011 2670002

ෆැක්ස් අංකය

011 2670079

 

දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ දුරකථන අංකයන්
 

රත්නපුර දිස්ත්‍රික්කය

0452222235 / 0714423760

කළුතර දිස්ත්‍රික්කය

034 2222235 / 0716814813

ගාල්ල දිස්ත්‍රික්කය

0912234235 / 0714415377

මාතර දිස්ත්‍රික්කය

0412222235 / 0776864397

හම්බන්තොට දිස්ත්‍රික්කය

0472256235 / 0714441612

කොළඹ දිස්ත්‍රික්කය

0112369134 / 0773184910

ගම්පහ දිස්ත්‍රික්කය

0332222235 / 0773273507

කෑගල්ල දිස්ත්‍රික්කය

0352222235 / 0773633293