ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි. එහි තවත් එක් ව්‍යාපෘතියක් ලෙස වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති ප්‍රදේශයන්හි ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලනු වස් එම ප්‍රදේශයන්හි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම හදුන්වා දිය හැක. ඒ අනුව මහියංගණය, බ/තලාවේගම විද්‍යාලය, මන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා නාවික කදවුරේ සහ ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නාවික කදවුරේ ස්ථාපිත තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ඊයේ (25) විවෘත කෙරිණි.

ඒ අනුව, බ/තලාවේගම විද්‍යාලයේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම පාසලේ ළමුන් 120 කට ගුරුවරුන් 9 ක් සහ එම ප්‍රදේශයේ පවුල් 320 කට පමණ පිරිසිදු පානීය ජලය සපුරා ගැනිමට හැකියාව ලැබී ඇත. එමෙන්ම, ගජබා නාවික කදවුරේ නාවික පුද්ගලයන් 633 දෙනෙකුට සහ බුවනෙක නාවික කදවුරේ නාවික පුද්ගලයන් 608 දෙනෙකුකට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවයන් සපුරා ගැනීමට හැකියාව ලබා දී ඇත. බ/තලාවේගම විද්‍යාලයේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය සඳහා ජනාධිපති වකුගඩු රෝග නිවාරණ කාර්ය සාධන බලකාය විසින් මූල්‍යමය දායකත්වය ලබා දී ඇත.

මේ දක්වා මෙවැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 170 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 79575 කට හා පාසැල් දරු දැරියන් 62244 කට වැඩි පිරිසකට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කර ඇත. තවද, ඉදිරියේදීත් මෙවැනි ජලපිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.