ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කර පිරිසිදු පානීය ජලය ජනතාවට ලබා දීම එහි තවත් එක් ව්‍යාපෘතියක් වේ. ඒ අනුව, වවිනියාව ප්‍රදේශයේ නෙදුන්කුලම ගම්මානයේ, බදුල්ල ඔරුබැඳි වැව මධ්‍ය මහා විද්‍යාලයේ සහ ධර්මපාල ප්‍රාථමික විද්‍යාලයේ ස්ථාපනය කරන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ඊයේ (23) ජනතා අයිතියට පත් කෙරිණි.

ඒ අනුව නෙදුන්කුලම ගම්මානයේ ජල පිරිපහදු යන්ත්‍රය මඟින් එම ප්‍රදේශයේ පවුල් 420 කට සහ ඔරුබැඳි වැව මධ්‍ය මහා විද්‍යාලයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මඟින් ගුරුවරුන් 140 කට, සිසු දරු දැරියන් 1830 කට සහ ප්‍රදේශයේ පවුල් 600 කට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. තවද, ධර්මපාල ප්‍රාථමික විද්‍යාලයේ ස්ථාපිත ජල පිරිපහදු යන්ත්‍රය මගින් ගුරුවරුන් 14 කට, සිසු දරු දැරියන් 140 දෙනෙකුට හා ප්‍රදේශයේ පවුල් 250 කට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මෙම ජල පිරිපහදු යන්ත්‍ර ජනාධිපති වකුගඩු රෝග නිවාරණ කාර්ය සාධන බලකායේ මූල්‍ය අනුග්‍රහය යටතේ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් ඉදිකර ඇත.

නෙදුන්කුලම ගම්මානයේ ස්ථාපනය කරන ලද ජල පිරිපහදු යන්ත්‍රය සඳහා අවශ්‍ය ගොඩනැඟිල්ල උතුරුමැද නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය මත එම නාවික විධානයට අනුයුක්ත සිවිල් ඉංජිනේරු අංශයේ නාවික පුද්ගලයින්ගේ පූර්ණ ශ්‍රම දායකත්වය මත ඉදිකර ඇත.

මේ දක්වා මෙවැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 167 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 79255 කට හා පාසැල් දරු දැරියන් 62124 කට වැඩි පිරිසකට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කර ඇත. තවද, ඉදිරියේදීත් මෙවැනි ජලපිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.