ශාන්තිකර කලාපයේ මැරීන් බලකා නියෝජ්‍ය ආඥාපති නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
 

ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර කලාපයේ මැරීන් බලකා නියෝජ්‍ය ආඥාපති, බ්‍රිගේඩීයර් ජෙනරාල් බ්‍රයන් කැවනෝග් මහතා අද (28) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

එම අවස්ථාව සඳහා ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර කලාප ආඥාපති, අද්මිරාල් හැරිස් බී හැරිස් මහතාගේ ජ්‍යෙෂ්ඨ බඳවා ගැනීම් ප්‍රධානී, සාජන්ට් මේජර් ඇන්තනී ස්පැඩරෝ මහතා, දකුණු ආසියානු ආරක්ෂක කාර්යාල නියෝජ්‍ය සහකාර ලේකම්, බ්‍රිටනි බිලින්ග්ස්ලි මහත්මිය, ශ්‍රී ලංකාවේ ඇමරිකානු නියෝජ්‍ය ආරක්ෂක උපදේශක ජේකොබ් ඉංග්ලිෂ් මහතා සහ ඇමරිකානු නාවික උපදේශක ලුතිනන් කොමාණ්ඩර් බ්‍රයන් පේජ් මහතා ද සහභාගී වී සිටියහ.

එහිදී ඔවුන් ද්විපාර්ශික වශයෙන් වැදගත් වන කරුණු රාශියක් සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාවේ අලුතින් ස්ථාපිත කරන ලද මෑරීන් බලකායේ ඉදිරි ක්‍රියාකාරකම්, මෙහෙයුම් සහ පුහුණුවීම් සම්බන්ධයෙන් දීර්ඝ කතාබහක ද නිරත විය. තවද, ඉදිරියේදී නාවික හමුදාව මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති මෙහෙයුම් සහ පුහුණු කටයුතු පිළිබඳවත්, දෙරට අතර පවතින ආරක්ෂක සහයෝගීතාවයන් වර්ධනය කර ගැනීම පිළිබඳවත් ඔවුන් නාවික හමුදාධිපතිතුමා සමග වැඩිදුරටත් සාකච්ඡා කරන ලදී. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.