එකම රටක්, එකම දැයක් තුළ එක කොඩියක සෙවණේ මාතෘ භූමිය සංවර්ධනය කිරීම සඳහා කැපවන බවට නාවික හමුදාව දිවුරුම් දෙයි

2017 නව වර්ෂයේ රාජකාරී කටයුතු ආරම්භ කරමින් ප්‍රථමයෙන්ම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරිණි. එකම රටක්, එකම දැයක් තුළ එක කොඩියක සෙවණේ සිය මාතෘ භූමිය සංවර්ධනයේ ඉනිපෙත්ත කරා රැගෙන යාමේ මහඟු කර්තව්‍ය උදෙසා හැකි උපරිමයෙන් කැපවන බවට එහිදී සියලුම නාවික හමුදා සාමාජිකයින් ප්‍රතිඥා දෙමින් ප්‍රකාශ කරන ලදී.

එම අවස්ථාවට සහභාගී වී සිටි පිරිස ඇමතූ නාවික හමුදාධිපතිතුමන්, ලැබුවා වූ 2017 නව වසර සියලු දෙනා හට සෞභාග්‍යමත් ඉසුරින් පිරි වසරක් බවට පත් වේවායි සුභ පැතුම් එක් කරන ලදී. එමෙන්ම, බුදුන් වහන්සේගේ ධර්ම දේශණයක් උපුටා දක්වමින්, තම රාජකාරිය නිසියාකාරව ඉටු කරන ආකාරය හා එහි වැදගත්කම ද පැහැදිලි කර දෙන ලදී. එමෙන්ම මෙම වසරේදීත් රටේ සංවර්ධනය හා උන්නතිය උදෙසා තමන්ට පැවරී ඇති රාජකාරීන් හා වගකීම්, කාර්යක්ෂමව, සඵලදායීව, තිර අදිටනින් යුතුව, උපරිම කැපවීමෙන් සහ අවංකභාවයෙන් ඉටු කළ යුතු බවත්, ඒ සඳහා සියලුම දෙනාගේ සහයෝගීත්වය තමන් අපේක්ෂා කරන බවත් නාවික හමුදාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

මෙම කර්තව්‍ය සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේ ආඥාපති, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා, නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්‍ වරුන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් ඇතුළු නාවික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ නාවිකයන් මෙන්ම සිවිල් සේවක මහත්ම මහත්මීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව/දිවුරුම

දෙදහස් දාහත වර්ෂයේ රාජකාරී අරඹන පළමු වැනි දිනය වන අද දින,

ශ්‍රී ලංකා ප්‍රජාතාන්‍ත්‍රික සමාජවාදී ජනරජය

ලක්වැසි ජනතා අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත් කරන

නව වසරක සමාරම්භය සනිටුහන් කරයි.

            අදින් ඇරඹෙන නව වසරේ

            එකම රටක්, එකම දැයක් තුළ එක කොඩියක සෙවණේ

            එක්සත්ව හා එක්සිත්ව විකසිත වන මාතෘ භූමිය

            සංවර්ධනය කිරීමේ දැවැන්ත අභියෝගය ජයගැනීම සඳහාත්

            සැමට ප්‍රතිලාභ හිමි වන වේගවත් සංවර්ධනයක් තුළින්

            2017 වර්ෂයේ දී දිළිඳුකම පිටුදැකීම සඳහාත්  

            ශ්‍රී ලාංකික ජනතාවට

            සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කිරීම සඳහාත්

            මහජන මුදලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයෙක් වන මම,

            රාජ්‍ය ප්‍රතිපත්ති හා අරමුණු ක්‍රියාත්මක කිරීමෙහි ලා

            මා වෙත පැවරෙන්නා වූ කාර්යභාරය

                        කාර්යක්ෂමව,

                        සඵලදායීව,

                        තිර අදිටනින් යුතුව,

                        උපරිම කැපවීමෙන්,

                        අවංකභාවයෙන්,

                        මහජනතාවට පක්ෂපාතීව,

          සපුරා ඉටු කරන බවට ප්‍රතිඥා දෙමි/දිව්රුම් දෙමි.