කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 ක් සමග පුද්ගලයන් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ලද බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ නාවික හමුදාව‍ පොලීසියේ සහායද ඇතිව කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 ක් සමග පුද්ගලයන් 4 දෙනෙකු ඊයේ (30) ප්‍රදේශ දෙකකදී අත්අඩංගුවට ගැනීමට සමත් විය. ඒ අනුව, බටහිර නාවික විධානයට අයත් වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ‍පෑලියගොඩ පොලිස් විශේෂ කාර්යය බළකාය එක්ව සිදු කළ වැටලීමකදී මෝටර් රථයක් මගින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 9 ක් සමග පුද්ගලයන් 2 දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එම පුද්ගලයන් සහ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කඳාන පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, වයඹ නාවික විධානයට අයත් පුත්තලමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පුත්තලම පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ සෝදිසි කිරීමකදී එළුවකුලම් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1 ක් සමග පුද්ගලයන් 2 දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එම පුද්ගලයන් සහ කේරළ ගංජා තොගය ඉදිරි කටයුතු සඳහා පුත්තලම පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.