ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අමතා ඉන්දීය නාවික හමුදාධිපති, අද්මිරාල් සුනිල් ලන්බා මහතා විසින් සිදු කරන ලද දේශණය
 

උපායමාර්ගික සාගරික සබඳතාවයන්හි ඇති වැදගත්කම: ඉන්දියානු දැක්ම

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, විවිධ රටවල් නියෝජනය කරමින් පැමිණ සිටින නාවික ප්‍රධානීන් සහ ප්‍රභූ පුද්ගලයන් මෙන්ම සම්භාවනීය අමුත්තන් ඇතුළු මහත්ම මහත්මීනි.

මෙවැනි විද්වත් මණ්ඩලයක් හමුවේ මාගේ අදහස් ප්‍රකාශ කිරීමට ලැබීම මා ලද ගෞරවණීය අවස්ථාවක් සහ භාග්‍යක් ලෙස සළකමි. ඒ සඳහා අවස්ථාව ලබා දුන් ශ්‍රී ලංකා නාවික හමුදාවට මාගේ කෘත්‍යපූර්වක ස්තුතිය හිමිවේ.

පසුගිය වසර කීපය මුළුල්ලේ ගාලු කතිකාව සඳහා ඉතා ඉහල වැදගත්කමක් හිමි වී ඇත. පසුගිය ගාලු කතිකා සම්මන්ත්‍රණ මාලාවන් තුළින් ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු වූයේ සමුද්‍රීය සහයෝගීතාවයට බලපාන කරුණු සම්බන්ධවයි. මෙවර තේමාව වන “උපාය මාර්ගික සාගරික සම්බන්ධතා වර්ධනය කර ගැනීම” තුළින් ද අප පැමිණ තිබෙන ගමන් මග පිළිබද අවබෝධයක් ලබා ගත හැක.

මෙම වසර තුළ බහු පාර්ශවීය සමුද්‍රීය සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වී ඇත. ඒ අතරින් 2016 ජනවාරි මස 16 වන දින බංගලාදේශයේ ඩකා අගනුවර පැවැත්වූ ඉන්දියානු සාගර හා නාවික සම්මන්ත්‍රණය (Indian Ocean Naval Symposium), පෙබරවාරි මස 16 වන දින ඉන්දියාවේ විශාඛාපට්නම් හි පැවැත්වූ ජාත්‍යන්තර නෞකා පිරික්සුම (International Fleet Review) මාර්තු මස 16 වන දින කටාර් රාජ්‍යයේ පැවති මැදපෙරදිග නාවික ප්‍රධානීන්ගේ සම්මන්ත්‍රණය (Middle East Commanders Conference) සැප්තැම්බර් මස 16 වන දින සිංගප්පූරුවේ පැවති ඉන්දියානු සාගර සම්මන්ත්‍රණය (Indian Ocean Conference), ඔක්තෝබර් මස 16 වන දින බාලි දූපතේ පැවති 16 වන ඉන්දියානු සාගර කළාප සංගමය (Indian Ocean Rim Association) සහ 7 වන ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය වැදගත් තැනක් ගනී. මින් අදහස් වන්නේ සාමූහිකව ක්‍රියාත්මක වීම පිළිබද කළාපය තුළ ඇති වී තිබෙන උනන්දුවයි.

මෙවර ගාලු කතිකාව ක්‍රියාත්මක වන්නේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අන් කවර කලකටත් වඩා වැඩි, උණුසුම් සහ හිතෛෂී මිත්‍රත්වයක් ගොඩනැගී ඇති පසුබිමක් තුළය. දෙරට අතර වෙළඳ සංස්කෘතික සහ ආගමික සබඳතාවය ඉතා ඈතට දිවෙයි. එමෙන්ම ඒවා අපගේ බැඳීම් ශක්තිමත් කරන සාධක වශයෙන් හඳුන්වා දිය හැකිය. තවද, ඉන්දියාව ශ්‍රී ලංකාවේ සමීපතම සාගරික අසල්වැසියා ද වන්නේය.

ඉන්දියානු දැක්ම පිළිබඳ මාගේ අදහස් ප්‍රකාශ කිරීමට ප්‍රථමයෙන් සාගරික සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට ඉවහල් වන උපාය මාර්ගික කරුණු සම්බන්ධයෙන් කෙටියෙන් සඳහන් කිරීමට මම බලාපොරොත්තු වෙමි.

ප්‍රථමයෙන්ම ගෝලීයකරණය විසින් රටවල් වල සීමා මායිම් යා කර ඇත. එමඟින්, විවිධ සංස්කෘතීන් ආර්ථිකයන් සහ පුද්ගලයන් ගෝලීය වශයෙන් එකිනෙකාට සම්බන්ධ කර ඇත.

දෙවනුව වැදගත් කරුණ වන්නේ බලශක්ති ආරක්ෂාව පිළිබඳව ඇති වැදගත් කමයි. නිදහස් බලශක්ති මෙහෙයුම් කටයුතු වලට සිදු වන බාදා හේතුවෙන් ‍බොහෝ ගැටළු නිර්මාණය වේ. ඉන්දියානු සාගරය බලශක්ති සම්පාදන අංශය නියෝජනය කරන බැවින් එහි ආරක්ෂාව තහවුරු කිරීම අනිවාර්ය කටයුත්තකි.

තෙවනුවට වැදගත් කරුණ වන්නේ ඉන්දියානු සාගරයේ පවතින සම්ප්‍රධායික නොවන අභියෝගයන්ය. මෙයට මුහුදු මංකොල්ලකෑම්, සාගරික ත්‍රස්තවාදය, අවි වෙළදාම, මත්ද්‍රව්‍ය ජාවාරම, නීති විරෝධී ධීවර කටයුතු අනවසර සංක්‍රමණ යනාදී බොහෝ කටයුතු ඇතුළත් වේ. අන්තර්ජාතික භූමිකාවක් නිරූපනය කිරීමේදී මෙම ගැටළු වලට සහයෝගයෙන් මුහුණ දීම අවශ්‍ය වේ.

අවසාන වශයෙන් මානුෂීය ආරක්ෂාව කෙරෙහි බලපාන අයහපත් කාලගුණික විපර්යාසයන් දැක්විය හැකිය. මෙම තත්ත්වය ඉන්දියානු සාගරය ආශ්‍රිතව ඉතා බහුලය. ඒ සඳහා විශේෂයෙන් බලපා ඇත්තේ වෙරළබඩ ආශ්‍රිතව වර්ධනය වන ජනාකීර්ණත්වයයි. ඉන්දියානු සාගරය ආශ්‍රිතව ලොව නොගැඹුරු සාගර කළාප දක්නට ඇත. එබැවින් එම ප්‍රදේශ මුහුදු මට්ටම ඉහල යෑමේ තර්ජනයට ලක්ව ඇත.

උපාය මාර්ගික සාගරික සම්බන්ධතා වර්ධනය කර ගැනීම තුළින් කළාපය තුළ අන්නෝන්‍ය දර්ශණය තව දුරටත් වර්ධනය කර ගත හැකි වේ. මෙහිදී කළාපීය පාර්ශවකරුවන් හට දේශීය වශයෙන් ක්‍රියාත්මක සබඳතා කෙබදුදැයි යහපත් අවබෝධයක් ඇතැයි මම විශ්වාස කරමි. ඉන්දියානු සාගර කළාපය එවැනි කළාපයක් වශයෙන් සඳහන් කළ හැකිය.

උපාය මාර්ගික සාගරික සබඳතා පිළිබද අවධානය යොමු කිරීමේදී එය ප්‍රධාන වශයෙන් ආකාර දෙකකි. ඉන් පළමු වැන්න නම් තිරසාර සාගරික කළමණාකරනය සහ සාගරික ආරක්ෂණ සහයෝගීතාවයයි.

උපාය මාර්ගික සාගරික සබඳතාවය ආර්ථික සහයෝගීතාවය මඟින් තහවුරු කර ගත හැකිය. එබැවින් කළාපීය පාර්ශවකරුවන්ගේ එක්වීම තුළින් තිරසාර සාගරික කළමණාකරනයක් වර්ධනය කර ගත හැකිය.

අද වන විට ඉන්දියානු සාගර කළාපය ගෝලීය ආර්ථික වර්ධනයේ සහ අන්තර් සබඳතා ගොඩනඟා ගැනීමේ මධ්‍යස්ථානයක් බවට පත් වී ඇත.

තවද, ඉන්දියානු සාගර කළාපය ලෝක ජනගහනයෙන් 1/3 කට පමණ වාසභූමිය බවට පත්ව ඇත. එය තෙල් සම්පතින් මෙන්ම ඛනිජ සම්පත් වලින් ද පොහොසත්ය. මෙම සාගර කළාපයේ ආර්ථිකයන් කීපයක් ප්‍රධාන වශයෙන්ම සාගරය, වරාය සහ නෞකා යන ක්ෂේත්‍රයන් මත රඳා පවතී.

තවද, මෙම කළාපය මත්ස්‍ය සම්පතින් සහ අනෙකුත් මුහුදු සම්පත් වලින් පොහොසත්ය. එමෙන්ම මෙහි හයිඩ්‍රොකාබන් සංචිතයන්ගෙන් ද සමන්විත වේ. එමඟින් විශේෂයෙන්ම බටහිර ආසියාවේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙයි.

ඉන්දියානු සාගර කළාපය නෞකා ගමන් ගන්නා කාර්යය බහුල මුහුදු මාර්ගයන්ගෙන් සමන්විත වෙයි. එමගින් ලෝක අවශ්‍යතාවයට සරිලන බොහෝ භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබයි. වාර්ෂිකව මෙම සාගර කළාපය හරහා ලක්ෂ වාරයකට ආසන්න නෞකාවන් ගමන් කරනු ලැබේ. එමඟින් ලෝක ඛනිජ අවශ්‍යතාවයෙන් 1/3 ක්, භාණ්ඩ අවශ්‍යතාවයෙන් 1/3 ක් සහ බහාලුම් ½ ක් ප්‍රවාහනය කරනු ලබයි. මෙහිදී වැදගත් කරුණ වන්නේ වෙළඳ නෞකා මඟින් කළාපය තුළ ප්‍රවාහනය කරනු ලබන්නේ 20% ක පමණ වෙළඳ කටයුතු පමණි. එබැවින් මෙම කළාපය තුළ සිදුවන නිදහස් වෙළඳාමට බාධා පැමිණුන හොත් එය සමස්ථ ලෝක ආර්ථිකයටම බලපෑමක් ඇති කරයි.

මේ සියළු සාධක මඟින් කළාපීය තිරසාර සාගරික කළමණාකරනයට අදාල අවස්ථා නිර්මාණය කර දෙයි. නමුත් ඇතැම් රටවල පවතින නොදියුණු සාගරික යටිතල පහසුකම් හේතුවෙන් ඔවුන්ට සාගරයෙන් ලබා ගත හැකි උපරිම ප්‍රයෝජනය නොලැබී යා හැකිය.

ඉන්දියාවේ සාගරික උරුමය නිර්මාණය වී ඇත්තේ සාමකාමී සංස්කෘතික හුවමාරුව සහ වෙළඳ කටයුතු මත පදනම්වය. වර්තමානයේ ද සාගරික කටයුතු සම්බන්ධයෙන් ඉන්දියාවේ එම දර්ශණය වෙනස් වී නොමැත.

ඉන්දියාවේ ගරු අග්‍රාමාත්‍ය තුමන් විසින් මෙම කළාපයේ ඉන්දියානු ප්‍රවිශ්ඨය පිළිබඳව මෙසේ දක්වා ඇත. “කළාපයේ සැමට ආරක්ෂාව සහ දියුණුවීමට අවස්ථාවක්”

කළාපය පිළිබඳව ඉන්දියානු දර්ශණය, සහයෝගීතාවය වර්ධනය කර ගැනීම සහ අපගේ හැකියාවන් කළාපයේ අභිවෘද්දීය පිණිස යොදා ගැනීම යන කරුණු මත පදනම් ව ඇත.

මෙහිදී වැදගත් අනෙක් කරුණ නම් සාගරික ආරක්ෂාව පිණිස සහයෝගයෙන් කටයුතු කිරීමයි. කළාපීය සාගරික සම්පත් ආරක්ෂා කිරීම, විවිධ අභියෝගයන්ට මුහුණ දීම, ලෝක වෙළඳ කටයුතු බාදාවකින් තොරව පවත්වා ගැනීම සුලුපටු කාර්යයක් නොවේ.

ඉන්දියානු රජයත්, ඉන්දියානු නාවික හමුදාවත් මෙම අභියෝගයන් ඉතා ගැඹුරින් අවධානයට ලක් කර ඇත. ඒ වෙනුවෙන් අප ඉන්දියානු සාගර කළාපයේ ආරක්ෂාවට වැදගත් වන පියවර රාශියක් මේ වන විටත් ගෙන ඇත.

ඉන්දියානු නාවික හමුදාවේ මෙහෙයුම් දායකත්වය සහ යෙදවුම් වර්ධනය කිරීම තුළින් හදිසි තත්ත්වයන්ට ක්ෂණිකව මුහුණ දීමට සූදානම් කර ඇත. මෙය ප්‍රකට වූ අවස්ථාවන් වශයෙන් අපගේ හමුදාවන් විසින් මෑතක දී මාලදිවයිනේ සහ යේමනයේ ක්‍රියාත්මක කළ සහන කටයුතු දැක්විය හැකිය.

කාලයත් සමඟ අප කළාපයේ සාගරික ආරක්ෂාව සැළසීමේ වගකීම සාමූහික ප්‍රයත්නයක් බවට පත්ව තිබේ. ඒ සඳහා කළාපයේ අනෙකුත් නාවික හමුදාවන්ගේ දායකත්වය ද ලැබී ඇත.

තවද, විවිධ මිතුරු රටවල් සමඟ තොරතුරු හුවමාරු කර ගැනීම (While Shipping Information) තුළින් කළාපීය සාගර ක්ෂේත්‍රයේ අවබෝධතාවය වර්ධනය කර ගැනීම අරමුණ වී ඇත.

එමෙන්ම, ගල්ෆ් කළාපයේ ඒඩ්න් බොක්ක සහ අප්‍රිකාව ආශ්‍රිත මුහුදු මංකොල්ලකෑම් මැඩලීමේ මුර සංචාර සිදු කිරීම, මාලදිවයින්, ශීලෙස්ෂ් සහ මුරුසි මුහුදු කළාපය ආශ්‍රිත ඒකාබද්ධ මුර සංචාර සිදු කිරීම සහ මියන්මාරය, තායිලන්තය සහ ඉන්දුනීසියාව සමග ඒකාබද්ධ මුර සංචාර සිදු කිරීම තුළින් විවිධ වූ තර්ජනයන්ගෙන් කළාපීය ආරක්ෂාව තහවුරු කර ගැනීමට ඉවහල් වී ඇත.

ගල්ෆ් කළාපයේ ඒඩ්න් බොක්ක ආශ්‍රිතව ක්‍රියාත්මක කරන ලද සාමූහික මුහුදු මංකොල්ලකෑම් පිටු දැකීමේ ක්‍රියාකාරකම් මඟින් සාර්ථක ප්‍රථිපල අත්කර ගැනීම, සාමූහික ප්‍රයත්නයන් මගින් අත්කර ගත් ජයග්‍රහණ වශයෙන් සටහන් කළ හැකිය. එතුළින් 2014 වර්ෂයෙන් පසු මුහුදු මංකොල්ලකෑම් කිසිවක් මෙම ප්‍රදේශයෙන් වාර්තා වී නොමැත.

සමුද්‍රීය සහයෝගීතාවය තුළින් අඩු පිරිවැයක් යටතේ පවතින සම්පත් උපරිමයෙන් යොදා ගැනීමට හැකියාව ලැබේ. මෙම සාගරික සබඳතා තුළින් අන්‍යයෝන්‍ය දියුණුව අත්කර ගැනීමට ද අවස්ථාව උදා වෙයි. තවත් ආකාරයකට ප්‍රකාශ කළ හොත් තාක්ෂණික සහ මෙවලම් හුවමාරුව කළාපයේ කටයුතු වලට වාසි දායක තත්ත්වයක් නිර්මාණය කර දේ.

එබැවින් ඉන්දියානු නාවික හමුදාවේ කළාපීය සහයෝගීතා කටයුතු කේන්ද්‍රගතව ඇත්තේ සම්පත් හුවමාරුව සහ කළාපීය හැකියාවන් වර්ධණය කිරීම යන ක්ෂේත්‍ර ඔස්සේය.

නිදහස් සහ ආරක්ෂිත සමුද්‍රීය පරිසරයක් ඇති කර ගැනීමට නම් කළාපයේ සාගරික කටයුතුවල නිරත සියළු ජාතීන් පොදු හැඟීමකින් කටයුතු කිරීම අනිවාර්ය වේ. තනිව ගත්කළ අපගේ හැකියාවන් සීමිත වුවත් ඒ සියල්ල එක් කළ විට කළාපයේ ආරක්ෂාව පිණිස එය ප්‍රමාණවත්ය. එබැවින් සියළු රටවල් ශක්තිමත් කිරීම තුළින් තිරසාර සාගරික කළමණාකරනයක් සහ සමුද්‍රීය ආරක්ෂාවක් ඇති කර ගත යුතුය.

සම්පත් වලට පවතින තරඟය, බලශක්තිය, ආර්ථික ගැටළු සහ පාරිසරික ගැටළු වැනි කරුණු හේතුවෙන් ඉන්දියානු සාගර කළාපය ලෝක අවධානයට ලක් වී ඇත. මේ සඳහා විසඳුම් සෙවිය හැක්කේ ඒකාබද්ධ සහ ප්‍රතිපත්ති මත පදනම් වූ ක්‍රමවේදයක් තුළිණි.

ඉන්දියානු දැක්ම අනුව කළාපීය සහයෝගීතාවය යනුවෙන් අදහස් කරනුයේ කළාපීය පාර්ශවකරුවන් අතර මිත්‍රත්වය වර්ධනය කර ගැනීමයි. මෙම අදහස ඉන්දියානු රජයේ “අසල්වැසියන් ප්‍රමුඛ වේ” යන දර්ශණය තුළින්ද පිළිඹිබු වේ. එමඟින් අපගේ අසල්වැසි රටවල් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අවස්ථාව ලැබී ඇත.

ඒ වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබා දෙන්නේද, අඩු දායකත්වයක් ලබා දෙන්නේ ද යන්න තීරණය කළ යුත්තේ ඔබ විසින්මය. නමුත් එතුළින් ක්‍රමාණුකූල නොවන ප්‍රථිපල අත්කර දේ.

මේ සම්බන්ධයෙන් ඉන්දියාව විවිධ පියවර ගෙන ඇති අතර, උදාහරණ වශයෙන්, ඉන්දියානු සාගර නාවික සම්මන්ත්‍රණය (Indian Ocean Naval Symposium) සහ ඉන්දියානු සාගර කළාප සංගමය (Indian Ocean Rim Association) සඳහන් කළ හැකිය.

ඉන්දියානු සාගර නාවික සම්මන්ත්‍රණය 2008 වර්ෂයේ පෙබරවාරි මස නවදිල්ලි නුවර දී ආරම්භ කළ අතර, එය ජාත්‍යන්තර සාගරික ආරක්ෂාව පිළිබඳ වැදගත් පියවරක් වශයෙන් සඳහන් කළ හැකිය. එමඟින් විවිධ අභියෝගයන් සාමූහික ප්‍රයත්නයක් තුළින් විසඳා ගැනීම පිළිබඳව සාකච්ඡා වේ. මෙය අප කළාපයේ සාගරික හැකියාවන් සහයෝගය තුළින් වර්ධනය කර ගැනීමට ද උපකාර වේ.

ආරම්භයේ පටන් අපගේ අවධානය යොමු වූ ප්‍රධානතම මූලධර්ම වන්නේ සමානාත්මතාව, සාමූහිකත්වය ගොඩනැගීම සහ කළාපීය අර්බුඳ වලට විසඳුම් සෙවීමයි. එමෙන්ම රටවල් වල ස්වාධිපත්‍ය, සමුද්‍රාශ්‍රිත ඒකාබද්ධවීම්, දේශපාලන නිදහස, අභ්‍යන්තර කටයුතු වලට අත‍ නොපෙවීම, සාමකාමී යහපැවැත්ම සහ අන්‍යයෝන්‍ය වාසි අත්කර ගැනීම මෙහිදී අනුගමනය කළ ප්‍රධානතම කරුණු වෙයි.

සහයෝගීතාවය ශක්තිමත් කර ගැනීම පිණිස පිහිට වූ තවත් එක් පියවරක් වශයෙන් ඉන්දියානු සාගර කළාප සංගමය නම් කළ හැක. පසුගිය වසර කිහිපය තුළදී ඉන්දියානු සාගර කළාප සංගමය සහ ඉන්දියානු සාගර හා නාවික සම්මන්ත්‍රණය අන්‍යයෝන්‍ය වශයෙන් කටයුතු කරමින් සිටී. මෙහිදී ඉන්දියානු සාගර කළාප සංගමය සාගරික ආරක්ෂක සහයෝගීතාවය පිළිබඳ වැදගත් කාර්යයභාරයක් ඉටු කරමින් සිටී. තවද, ඉන්දියානු සාගර කළාප සංගමයේ සාමාජිකයින් 20 දෙනාම ඉන්දියානු සාගර හා නාවික සම්මන්ත්‍රණයේ නාවික හමුදාවන් වශයෙන් නියෝජනය කරනු ලබයි.

එමෙන්ම, ඉන්දියානු සාගර කළාපයේ රටවල් ඉන්දියානු සාගර කළාප සංගමයේ සහ ඉන්දියානු සාගර හා නාවික සම්මන්ත්‍රණයෙහි ක්‍රියාකාරී දායකත්වයක් සැපයීම පසුගිය වසර 2 පුරා දක්නට ලැබුණි. තවද, ක්‍රියාකාරකම් මත පදනම් වූ යාන්ත්‍රණයක් නිර්මාණය කර ගැනීම තුළින්, ඉන්දියානු සාගර කළාප සංගමයේ සහ ඉන්දියානු සාගර හා නාවික සම්මන්ත්‍රණයෙහි සාගර ක්ෂේත්‍රයට අදාල ගැටළු විසඳා ගත හැකි වනු ඇත. එමඟින් ස්ථිරසාර විසඳුම් වලට එළඹීමට හැකියාව ලැබෙනු ඇත.

තවද, 1995 වර්ෂයේ රටවල් 5 ක දායකත්වයෙන් ඇරඹි MILAN සංගමය අන්‍යයෝන්‍ය සහයෝගීතාවය වර්ධනය කිරීම වෙනුවෙන් නිර්මාණය වූ තවත් පියවරක් වශයෙන් සඳහන් කළ හැකිය. මෙය නැව් මුළුවන්ගේ සහ විද්වතුන්ගේ වෘත්තීමය සහ සමාජමය සහයෝගීතාවය වෙනුවෙන් ක්‍රියාත්මක වැදගත් අවස්ථාවක් ලෙස හඳුන්වා දිය හැක. මෙමඟින් යහපත් අවබෝධයක් වර්ධනය කර ගැනීමේ වේඳිකාවක් සකස් වී ඇත.

ඉදිරි දැක්ම

සත්‍ය වශයෙන්ම යහපත් සහ ධනාත්මක සාගරික ආරක්ෂණ වටපිටාවක් නිර්මාණය කර ගැනීම ඉතා වැදගත් කරුණක් වේ. ඒ සඳහා අපගේ අවධානය යොමු විය යුතු අංශ 3 ක් පිළිබඳ ඔබගේ අවධානය යොමු කිරීමට මම කැමැත්තෙමි.

ඉන් ප්‍රථම කරුණ වන්නේ තොරතුරු හුවමාරු කර ගැනීමයි. සාගරික කටයුතු හා සම්බන්ධ ගැටළු වලට පිළිතුරු සෙවීමේදී අප විසින් අවධානය යොමු කළ යුතු ප්‍රධානතම කරුණ නම් ශක්තිමත් තොරතුරු ජාලයක් වර්ධනය කර ගැනීමයි. පොදු තොරතුරු ජාලයක් මඟින් හදිසි තත්ත්වයන් හෝ ආපදා තත්ත්වයන් වලදී වැදගත් වන කාලගුණික, භූ චලන සහ අනෙකුත් දත්ත ඉක්මනින් හුවමාරු කර ගත හැක.

අපගේ අවධානය යොමු විය යුතු දෙවන කරුණ නම්, මානුෂීය සහන සහ ආපදා සහණ සැළසීමයි. බොහෝ රටවල් මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කරගෙන ඇත. එබැවින් අප කළ යුතු වන්නේ එම හැකියාවන් එක්තැන් කර ගැනීමයි.මෙමඟින්අප සතු සම්පත් උපරිම කාර්යක්ෂමතාවයකින් භාවිතා කිරීමට හැකියාව ලැබේ. එමෙන්ම ඉන්දියානු සාගර කළාපයේ මානුෂීය සහ ආපදා සහණ සැළසීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීමට ද අපගේ අවධානය යොමු කළ හැක. මේ සම්බන්ධයෙන් මා මීට ඉහතදී ද සඳහන් කර ඇත.

තෙවන කරුණ නම්, සාගරික ආරක්ෂණ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමයි. නාවික හමුදාවන් සහයෝගයෙන් කටයුතු කිරීම තුළින් මුහුදු මංකොල්ලකෑම් ඉතා විශාල වශයෙන් පාලනය කර ඇත. ඒ ආකාරයෙන්ම නීති විරෝධී ධීවර කටයුතු, සාගරික ත්‍රස්තවාදය, සහ අනෙකුත් ජාවාරම් මැඩ පැවැත්වීමට ද සාමූහික ක්‍රියාකාරීත්වයක් තුළින් හැකියාව ඇත. ඉන්දියානු සාගර නාවික සම්මන්ත්‍රණය වැනි කතිකාවන් මඟින් ඒ සඳහා අවශ්‍ය කළාපීය යාන්ත්‍රණයක් සකස් කර ගත හැකිය.

ඉන්දියානු සාගරය ආශ්‍රිතව දේශපාලන, ආර්ථික, සහ සාගරික ආරක්ෂණ සහයෝගීතාවය හා බැඳුනු අවස්ථා රාශියක් ඇති බව අවසාන වශයෙන් මා අවධාරණය කර සිටිමි. එමඟින් නිර්මාණය වන අභියෝග, තර්ජන සහ අවස්ථා තනි පුද්ගලයෙකුට මෙහෙය වීම අපහසුය.

මෙම අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට නම් සාමූහික ප්‍රයත්නයන් තුළින් ක්‍රියාත්මක වීම අවශ්‍යම සාධකයක් වේ. මෙවර සම්මන්ත්‍රණයේ තේමාව අප එම සාගරික හවුල්කාරීත්වය සඳහා යොමු කරන ඉදිරි පියවරක් වශයෙන් සඳහන් කළ හැකිය.

මාගේ විශ්වාසයට අනුව මෙවර ගාලු කතිකාව තුළින් ගොඩනගා ගත් අදහස් මඟින් නව උපාය මාර්ගික සාගරික සහයෝගීතාවයක් ගොඩනගා ගැනීමට හැකිවනු ඇත. එමෙන්ම එය අප කළාපයේ සැබෑ හැකියාවන් විදහා දැක්වීමට ද සමත් වනු ඇත. අප හමුවේ ඇති අභියෝග ඉතා විශාල වුවත්, ඒවා මැඩපැවැත්වීමට අපහසු නොවේ.

අවසාන වශයෙන් මා ප්‍රකාශ කරන්නේ ඉන්දියානු සාගර කළාපය අපහට ලබා දෙන අවස්ථාවන් වලින් ප්‍රයෝජන ගැනීම අප සතු කාර්යයභාරයකි.එමඟින් අපට ඉන්දියානු සාගර කළාපයේ සාමය, සංහිඳියාව සහ ස්ථායිතාවය අත් කර ගත හැකි බවයි.

ඔබගේ අවධානය මාගේ දේශණය වෙත ලබා දීම පිළිබඳව මාගේ ස්තූතිය මෙයින් ප්‍රකාශ කර සිටිමි.