7 වන ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය කොළඹදී
 

ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව අඛණ්ඩව හත්වන වරටත් සංවිධානය කරනු ලබන 2016 ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය නොවැම්බර් මස 28 සහ 29 යන දිනයන්හිදී කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙම සමුළුව, රටවල් 40ක සහ ජාත්‍යන්තර සංවිධාන 12ක දෙස් විදෙස් නියෝජිතයින් හා සමුද්‍රීය ආරක්ෂක විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර මෙවර තේමාව වන්නේ “උපාය මාර්ගික සාගරික සම්බන්ධතා වර්ධනය කර ගැනීම” යන්නයි. මෙම අන්තර්ජාතික සාගරික සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සන්නද්ධ සේවා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වන අතර, විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ද සහභාගී වේ. තවද, විදේශ නාවික සහ ආරක්ෂක සේවා ප්‍රධානීන් 7 දෙනෙකු ඇතුළු විදෙස් නියෝජිතයින් 120 දෙනෙකුට වැඩි පිරිසක් ද මෙවර සමුළුවට සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය සඳහා මංපෙත් විවර කරගත හැකි සම්පත් රාශියක් සාගරය සතුව පවතී. එම සම්පත් නිවැරදි භාවිතය, සියලු ජාතීන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඒවා යොදා ගැනීම, කලාපීය ආරක්ෂාව සඳහා එහි ඇති වැදගත්කම, අප රටේ ආර්ථික පැවැත්ම හා ලෝක සාමය සඳහා ඇති උපයෝගීත්වය සහ සියලුම පාර්ශවයන් හට එක්ව කටයුතු කිරීම සඳහා ද්විපාර්ශ්වික මෙන්ම බහුපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම ඇතුළු කරුණු රාශියක් සම්බන්ධයෙන් මෙහි දී සාකච්ජා කිරීමට අපේක්ෂිතය. ආරක්ෂක අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ පැවැත්වෙන මෙම සමුළුව මගින් නාවික හා සාගරික කරුණු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට සහ ඔවුන්ගේ සුවිශේෂි දැනුම් සම්භාරය හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට අවස්ථාව ලබා දෙනු ඇත. නාවික හමුදාව විසින් සෑම වසරක් පාසාම වැඩි ප්‍රමුඛත්වයක් ලබාදෙමින් සිදුකරන මෙම අන්තර්ජාතික සමුළුව, ඒ සඳහාම ආවේණික වූ විෂය ක්ෂේත්‍රයක් පිළිබද විද්වත් අදහස් හුවමාරු කෙරෙන වේදිකාවක් ලෙස හැඳින්විය හැකිය.

අතිගරු ජනාධිපති තුමන්ගේ දූරදර්ශී නායකත්වය යටතේ මෙම සමුළුව අඛණ්ඩව 7 වන වරටත් පැවැත්වීම සඳහා අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලබාදී ඇත. එමෙන්ම වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදේශකත්වය සහ මගපෙන්වීම යටතේ සාගරික ආරක්ෂාව තව දුරටත් ශක්තිමත් කරගනිමින්, ශ්‍රී ලංකා නාවික හමුදාවට නිවැරදි මාවතක් ඔස්සේ සිය ක්‍රියාදාමයන් ඉතා කාර්යක්ෂමව සහ නිවැරදිව ඉදිරියටත් සිදු කිරීමට මෙම සමුළුව තුළින් මහත් පිටිවහලක් ලැබෙනු ඇති බව විශ්වාස කෙරේ.

මෙවර සමුළුව තුළින් වත්මන් සාගරික අභියෝගයන් ජයගැනීම සඳහා ඵලදායි යාන්ත්‍රනයක් සකස් කරගැනීම සඳහා මෙන්ම කලාපීය විද්වතුන්ගේ සාගරික ගැටළු රාශියකට පිළිතුරු සොයා ගැනීම සඳහා ද මං සැලසෙනු ඇත.

එමෙන්ම, ගාලු කථිකාව සම්මන්ත්‍රණයේ නවතම තොරතුරු www.galledialogue.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.