අනුරාධපුර ප්‍රදේශයේ ඉදිකළ ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී. එහි තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඹුක්වැව සහ කොහොඹගස්කඩ යන ගම්මානවල ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් අද (15) ජනතා අයිතියට පත් කෙරුණි. මෙමගින් කුඹුක්වැව ප්‍රදේශයේ පවුල් 450 කට සහ කොහොඹගස්කඩ ප්‍රදේශයේ පවුල් 470 කට පමණ පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ හැකියාව උදා වී ඇත.

උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ නිලධාරීන්ගේ සහ නාවිකයන්ගේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් එම ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය ගොඩනැගිලි ඉදිකරන ලදී. එම ජල පිරිපහදු යන්ත්‍ර ජනාධිපති වකුගඩු නිවාරණ කාර්ය සාධන බලකායේ සහ සිරස මාධ්‍ය ජාලයේ මූල්‍ය අනුග්‍රහය යටතේ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් ඉදිකර ඇත. වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින මෙවැනි ප්‍රදේශයන් සඳහා ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර වල පවතින දැඩි අවශ්‍යතාවය සැලකිල්ලට ගත් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සිය දැනුම හා තාක්‍ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් මෙම ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීමට කටයුතු කරනු ලබයි. ඒ අනුව මේ වන විට මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර 52 ක් වකුගඩු රෝග අර්බුදය බහුලව පවතින ප්‍රදේශයන්හි ස්ථාපිත කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත. මෙම වැඩසටහනට සමගාමිව, වකුගඩු රෝගය ව්‍යාප්තව පවතින ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීමද නාවික හමුදාව විසින් මේ දින වල සිදු කරමින් පවතී.