සටනේදී දිවිදුන් රණවිරුවන් අනුස්මරණය කෙරේ
 

මව් බිම වෙනුවෙන් ජීවිත පුජා කළ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවය අද (13) කොළඹ, විහාර මහා දේවී උද්‍යානය අසල පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පැවැත්විණි. නාවික හමුදාව නියෝජනය කරමින් මෙම අවස්ථාවට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී වූ අතර, නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් රැසක් ද ඊට එක්විය.

ප්‍රධාන උත්සවයට සමගාමීව කොළඹ, නාවික හමුදා මූලස්ථානයේ දී රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් පැවැත්වුණු අතර, අනෙකුත් නාවික විධානයන්හිදී විධාන ආඥාපතිතුමන්ලාගේ හා අණදෙන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් රණවිරු අනුස්මරණ උත්සව මාලාවක් පැවැත්විණි. ඒ සඳහා නාවික හමුදාවේ සියළුම නෞකා, ආයතන හා අණුඛණ්ඩ නියෝජනය කරමින් නිලධාරීන් සහ නාවිකයින් විශාල පිරිසක් සහභාගී විය. විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් රකිමින් දිවිපිදූ සහෝදර රණවිරුවන්ට සිය කෘතවේදීත්වය පළ කිරීමෙන් අනතුරුව බියුගල් වාදනයෙන් හා පහත අනුස්මරණ පාඨය කියවීමෙන් මෙම උත්සව මාලාව නිමාවට පත්විය.

ඉතිරිව සිටිනා අප ලෙස වයසට නොම පැමිණෙති ඔහු ලොව කිසිදා

කාලය හමුවේ නොමියෙති දිරුමට නොම පිරිහෙති ඔහු වසර නිසා

හිරු බැස යද්දී හිරු පායද්දී අප සැම සිහිපත් කරමු ඔවුන්...!