නාවික හමුදාධිපතිතුමන් ‘ඉන්දු ශ්‍රී ලංකා ආරක්‍ෂක සහයෝගීතා කථිකාවට’ සහභාගී වෙයි
 

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආරක්‍ෂක සහයෝගිතාවය සමාලෝචනය කිරීම සඳහා වාර්ෂිකව පවත් වනු ලබන ‘ඉන්දු ශ්‍රී ලංකා ආරක්‍ෂක සහයෝගීතා කථිකාව’ සිව්වන වරටත් ඊයේ (3) කොළඹදී පවත් වන ලදී. ආරක්‍ෂක ලේකම් කරුණසේන හෙට්ටිආරච්චි මහතාගේ ආරාධනාවකට අනුව ඉන්දියානු ආරක්‍ෂක ලේකම් ජී මොහාන් කුමාර් මහතා ඇතුළු ඉන්දියානු නියෝජිත පිරසක් මේ සඳහා සහභාගී වූ අතර, මෙවර කථිකාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා ද සහභාගී විය.

මෙම හමුවේදී ඉන්දියානු හා ශ්‍රී ලංකා නියෝජිත පිරිස අතර ද්විපාර්ශ්වීය වශයෙන් ආරක්‍ෂාව සම්බන්ධයෙන් වැදගත් වන කරුණු විශාල ප්‍රමාණයක් සාකච්ඡා කරන ලදී. 2012 වර්ෂයේදී ආරම්භ වූ ‘ඉන්දු ශ්‍රී ලංකා ආරක්‍ෂක සහයෝගීතා කථිකාව’ දෙරටෙහි අන්‍යෝන්‍ය සහයෝගිතාවය හා ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් වන කරුණු සාකච්ඡා කිරීම වෙනුවෙන් වාර්ෂිකව පවත් වනු ලැබේ.

මෙවර කථිකාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් අතිගරු වයිකේ සිංහා මහතා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී එයර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා, යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා, දෙරටේ ආරක්‍ෂක අමාත්‍යාංශයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.