මැදිරිගිරිය ප්‍රදේශයේ ඉදිකළ ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව විසින් සිදු කරන ප්‍රජා සත්කාරක සේවාවන්හි එක් ව්‍යාපෘතියක් වශයෙන් වකුගඩු රෝගය පැතිරයාමේ අවදානමක් සහිත ප්‍රදේශයන්හි ජනතාව වෙනුවෙන් ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කිරීම සඳහන් කළ හැක. ඒ අනුව මැදිරිගිරිය, සෙනරත්පුර සහ අබේපුරගම යන ගම්මානයන්හි ස්ථාපනය කරන ලද ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් අද (15) ජනතා අයිතියට පත් කෙරුණි.

මෙමගින් සෙනරත්පුර ගම්මානයේ පවුල් 300 කට පමණ සහ අ‍බේපුරගම ගම්මානයේ පවුල් 420 කට පමණ පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. මෙම ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර කොළඹ, ගෝල්ෆේස් හෝටලයේ මූල්‍ය අනුග්‍රහය යටතේ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්‍ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් මෙම ජල පිරිපහදු යන්ත්‍ර ඉදිකර ඇත. ඒ අනුව මේ වන විට මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර 37 ක් විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර, මෙම වැඩසටහනට සමගාමිව, වකුගඩු රෝගය ව්‍යාප්තව පවතින ප්‍රදේශයන්හි මෙම රෝගී තත්ත්වය වළක්වාලීමට ගත හැකි පියවර සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක කරමින් සිටියි.