ගලෙන්බිදුනුවැව ප්‍රදේශයේ ඉදිකළ ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී. එහි තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් ගලෙන්බිදුනුවැව, උපුල්දෙණිය ශ්‍රී උත්පලාරාමයේ ස්ථාපිත කරන ලද ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය ජනතා අයිතියට පත් කෙරුණි. මෙමගින් උපුල්දෙණිය ප්‍රදේශයේ පවුල් 300 කට පමණ සහ උපුල්දෙණිය විද්‍යාලයේ සිසු දරු දැරියන් 350 කට පමණ පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ හැකියාව ලැබේ.

මෙම ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය ගෝල්ෆේස් හෝටලයේ මූල්‍ය අනුග්‍රහය යටතේ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් ඉදිකර ඇත. වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින මෙවැනි ප්‍රදේශයන් සඳහා ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර වල පවතින දැඩි අවශ්‍යතාවය සැලකිල්ලට ගත් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සිය දැනුම හා තාක්‍ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් මෙම ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීමට කටයුතු කරනු ලබයි. ඒ අනුව මේ වන විට මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර 30 ක් විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත. මෙම වැඩසටහනට සමගාමිව, වකුගඩු රෝගය ව්‍යාප්තව පවතින ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීමද නාවික හමුදාව මේ දින වල කටයුතු කරමින් සිටියි.