අනවසරයෙන් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීවරයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත්, මන්ඩතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) කල්මුණේ තුඩුව සහ මණ්ඩතිව් මුහුදු තී‍රය අතර බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ලාංකික ධීවරයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. එහිදී මුහුදු කූඩැල්ලන් 7 ක්, පාවරල් යුගල් 2 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා මුහුණු ආවරණ 2 ක් අත්අඩංගුවට ගන්නා ලද අතර, එම පුද්ගලයන් සහ භාණ්ඩ නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද එදිනම උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගත කිරීම් වෙත්තලකේනි හි රාජකාරී නියුතු නාවිකයන් පිරිසක් විසින් චලෙයි මුහුදු ප්‍රදේශයේ බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ලාංකික ධීවරයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. එහිදී ඩිංගි යාත්‍රාවක්, මුහුදු කූඩැල්ලන් 35 ක්, පාවරල් යුගලක්, කිමිදීම සඳහා යොදා ගන්නා මුහුණු ආවරණයක් අත්අඩංගුවට ගන්නා ලද අතර, එම පුද්ගලයින් සහ භාණ්ඩ නීතිමය කටයුතු සඳහා මුලතිව් සහකාර ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.