කල්පිටිය ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගැනේ
 

කල්පිටිය මොහොත්තුවාරම් ප්‍රදේශයේදී කැබ් රථයක් මගින් ප්‍රවාහනය කරමින් තිබූ ‍කේරළ ගංජා කිලෝග්‍රෑම් 100 ක පමණ ප්‍රමාණයක් ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශයේ සහාය ඇතිව පුත්තලම පොලිස් විශේෂ කාර්යය බළකායේ භට පිරිසක් විසින් ඊයේ (6) අත්අඩංගුවට ගැනීමට සමත් විය. ඒ අනුව වයඹ නාවික විධානයට අයත් මුල්ලිකුලමෙ හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා භරණ, පුත්තලමේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි සහ කල්පිටියෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජය යන ආයතනයන්ට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්යය බළකායේ භට පිරිසක් එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලදී.

එහිදී කේරළ ගංජා තොගය ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනා, ඒ සඳහා යොදා ගත් කැබ් රථය සහ කේරළ ගංජා තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුත්තලම පොලිස් මූලස්ථානය වෙත භාරදීමට කටයුතු කරන ලදී. ‍