නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 24 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් සම්පුර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (30) සම්පුර් ප්‍රදේශයේ නෝර්වේ තුඩුවට ඔබ්බෙන් වූ මුහුදේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවන් 2 ක් සහ නීතිවිරෝධී තංගුස් දැල් 2 ක් (සුරුක්කු දැල්) අත්අඩංගුවට පත්විය.අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මූතුර් ධිවර පරික්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.

එදිනම කුච්චවේලි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පොඩුවකට්ටු මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රා 3 ක් සහ නීතිවිරෝධී තංගුස් දැලක් (සුරුක්කු දැලක්) අත්අඩංගුවට පත්විය. අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කුචිචවේලි පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.