34 වසරක අභිමානවත් සේවය නිමා කරමින් රියර් අද්මිරාල් උදය බණ්ඩාර මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් උදය බණ්ඩාර මහතා 34 වසරක අභිමානවත් නාවික හමුදා සේවය නිමා කරමින් අද (28) දින විශ්‍රාම යන ලදී. නාවික හමුදා සම්මාන ආචාරයකින් එතුමන් වෙත ආචාර දැක්වීමෙන් පසුව සම්ප්‍රදායානුකූල රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයේ දොරටුව දක්වා පා ගමනින් යමින් සහෘද නිලධාරීන් සිය ජ්‍යෙෂ්ඨ නිලධාරියා හට සමුදෙනු ලැබිණි.

1982 වසරේ දී කැඩෙට් නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති ඒ මහතා විවිධ නිලතල දරමින් ආයතන සහ නෞකා රාශියක සේවය කර ඇත. දෙස් විදෙස් පාඨමාලාවන් හැදෑරීමෙන් ලද දැනුම උපයෝගී කර ගනිමින් නාවික හමුදාවට ඔහු විශිෂ්ඨ සේවයක් ඉටු කරන ලදී. පරිනත මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස එතුමන් ශ්‍රී ලංකා නාවික හමුදාවටත්, සිය මාතෘ භූමියටත් සිදු කර ඇති සේවය නාවික හමුදා ඉතිහාසයේ නොමැකෙන සලකුණක් ලෙස සටහන් වනු ඇත.