නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 9 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට ඊයේ (27) නාවික හමුදාව සමත් විය. ඒ අනුව, කන්කසන්තුරය, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පේදුරුතුවට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී අනවසරයෙන් මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. එහිදී, ඩිංගි යාත්‍රාවක්, මුහුදු කූඩැල්ලන් 929 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා ඔක්සිජන් සිලින්ඩර් 10 ක්, මුහුණු ආවරණ 2 ක් සහ පාවරල් යුගල 2 ක් අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, නීති විරෝධී ලෙස අල්ලා ගොඩබිමට ගෙනවිත් ප්‍රවාහනය කරමින් සිටි අඩි 14 ක පමණ දිගින් යුත් දුර්ලභ ගණයේ මිනිමුතු මෝරෙකු සොයා ගැනීමට වෙත්තලකේනි නාවික ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් සමත් විය. එහිදී මෝරා ප්‍රවාහනය කළ පුද්ගලයන් 6 දෙනෙකු සහ ට්‍රැක්ටරයක් අත්අඩංගුවට ගත් අතර, පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මුරුතන්කේනි පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.