නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 7 දෙනෙකු නාවික හමුදාවේ අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 7 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්විය. ඒ අනුව ඊයේ (25) උතුරු මැද නාවික විධානයට අයත් නච්චිකුඩා, ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඉලුප්පුකාඩවායි සහ වෙඩිතලතිවු ප්‍රදේශයන්ට බටහිරින් වූ මුහුදු සීමාවේදී නීතිවිරෝධී ‍ලෙස ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවක් ඔරුවක්, නීති විරෝධී දැල් 4 ක්, G.P.S යන්ත්‍රයක්, ගැල්වනයිස් බට 75 ක් සහ කකුළුවන් කිලෝග්‍රෑම් 40 ක් ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, නැගෙනහිර නාවික විධානයට අයත් මඩකළපුව, කොටුවමැද නාවික අනුඛණ්ඩයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය 24 වන දින නවත්කුඩා මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 2 දෙනෙකු ධීවර කටයුතු සඳහා යොදා ගත් නීතිවිරෝධී දැලක් ද සමග අත්අඩංගුවට ගන්නා ලදී. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා මඩකළපුව පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.