කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය ශික්ෂණ රෝහලේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) ලෙස වෛද්‍ය රියර් අද්මිරාල් ජයසේකර මහතා පත්වීම් ලබයි

2016 අප්‍රේල් මස 18 වන දින සිට ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ශික්ෂණ රෝහලේ ප්‍රථම ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් වෛද්‍ය රියර් අද්මිරාල් නිකලස් ජයසේකර මහතා, එම්බීබීඑස්, එම්එස්සී, එම්බීඒ, යූඑස්පී, වීඑස්වී, පත් කොට ඇත. නවීන වෛද්‍ය උපකරණ හා ඇදන් 704 කින් සමන්විත මෙම රෝහල මෙම වසර අවසානයේදී සියළු අංශයන්ගෙන් අංගසම්පූර්ණ කිරීමට නියමිතය. තවද, මෙම රෝහල ශල්‍යාගාර 20 කින් සමන්විත වන අතර, එය එකවර රෝගීන් 70 දෙනෙකු සඳහා දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප්‍රථිකාර ලබා දීමේ පහසුකම්වලින් සහ අංගෝපායන්ගෙන් යුක්ත වේ. ඇමරිකානු ඩොලර් මිලියන 202 ක මූල්‍යමය අයෝජනයක් මත වේරහැර ප්‍රදේශයේ අක්කර 56 ක භූමි භාගයක ඉදි කර ඇති මෙම රෝහල මගින් 3000 කට අධික පිරිසකට සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා උදාකර දීමට බලාපොරොත්තු වේ.

තෘතීක පහසුකම්වලින් සමන්විත ශික්ෂණ රෝහලක් වශයෙන් ක්‍රියාත්මක වන මෙම රෝහල මගින් වෘත්තීමය නිපුණත්වයෙන් යුත් සේවාදායකයින්ගේ උපකාරය ඇතිව රෝගීන්ට උපරිම තත්ත්වයේ සේවාවක් ලබා දීමට බලාපොරොත්තු වේ. එසේම අති නවීන පහසුකම්වලින් හා තෘතීක පහසුකම්වලින් යුත් මෙමගින් සේවා පුද්ගලයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ මෙන්ම පොදු මහජනතාවගේ බාහිර හා අභ්‍යන්තර වෛද්‍ය අවශ්‍යතාවයන් ඉටු කර දීමට හැකියාව ලැබෙනු ඇත. ඉතාමත් කෙටි කාල සීමාවක් තුළ ශල්‍යකර්ම සිදු කීරීමෙන් අනතුරුව රෝහලෙන් බැහැරවීමට හැකි විශේෂ ඒකකයකින්ද මෙය සමන්විත වන අතර, එවැනි පහසුකම් සපයන ශ්‍රී ලංකාවේ ඇති අතලොස්සක් වූ රෝහල් අතර මෙම රෝහල විශේෂ ස්ථානයක් හිමිකරගෙන ඇත.

හදිසි අනතුරු හා ත්‍රිවිධ හමුදාමය ක්‍රියාකාරකම් වලදී අනතුරට පත් වන පුද්ගලයන් සඳහා අවශ්‍ය සියළුම ඖෂධ වලින් සම්පූර්ණ මෙම රෝහල ඒ සඳහා ඕනෑම අවස්ථාවක සිය සේවය ලබා දීමට සූදානමින් සිටී. තවද, මෙහි පර්යේෂණ හා සංවර්ධන කටයුතු ඉතා උසස් මට්ටමකින් ක්‍රියාත්මක වේ. මීට අමතරව උපාධි සහ පශ්චාත් උපාධි අපේක්ෂිත ත්‍රිවිධ හමුදා වෛද්‍ය ශිෂ්‍යයන්ට මෙන්ම දේශීය හා විදේශීය වෛද්‍ය කාර්යය මණ්ඩල සාමාජිකයන්හට මෙමගින් නේවාසික පුහුණුව ලබා ගැනීමේ පහසුකම් සළසා ඇත. දකුණු ආසියානු කළාපයේ ආරක්ෂක අධ්‍යන උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ඇති එකම විශ්වවිද්‍යාලය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයයි. එය ලොව ප්‍රථම සහ පැරණිම ජාත්‍යන්තර විශ්ව විද්‍යාලජාලය ලෙස සැලකෙන පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල සංගමයේ සාමාජිකත්වය හිමි කර‍ගෙන ඇත. තවද, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මගින් ආරක්ෂක අධ්‍යන, ඉංජිනේරු, නීති, කළමණාකරන, සමාජවිද්‍යා සහ තොරතුරු තාක්ෂණ උපාධි සහ පශ්චාත් උපාධි පිරිනමනු ලැබේ.

ප්‍රධාන විධායක නිලධාරී (CEO) ලෙස පත්කොට ඇති වෛද්‍ය සහ වෛද්‍ය පරිපාලන ක්ෂේත්‍රයන්හි හසළ අත්දැකීම් සහිත වෛද්‍ය රියර් අද්මිරාල් නිකලස් ජයසේකර මහතා මේ වන විට ත්‍රිවිධ හමුදාවන්හීම සිටින ජ්‍යෙෂ්ඨතම වෛද්‍ය නිලධාරී වශයෙන් සැළකේ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ දශක 3 කට වඩා වැඩි අත්දැකීම් සහිත එතුමන් වෛද්‍ය රියර් අද්මිරාල් තනතුරේ මේ වන විට වසර 10 කට ආසන්න කාලයක් සේවය කර ඇත. 1986 වර්ෂයේ ජූලි මස වෛද්‍ය ලුතිනන් වරයෙකු ලෙස කරෙයිනගර් නාවික රෝහලේ ප්‍රථම පත්වීම් ලද එතුමන් උතුරු ප්‍රදේශයේ ගැටුම් ආරම්භ වීමෙන් පසු එම ප්‍රදේශයේ රාජකාරී නිරත ප්‍රථම හමුදා වෛද්‍ය නිලධාරී වශයෙන් ප්‍රකටය. දශක 3 කට අධික නිකලැල් සේවා කාලයක නිරත ඔහුගේ සේවය අගයනු වස්, උත්තම සේවා පදක්කම, විශිෂ්ඨ සේවා විභූෂණ ඇතුළු පදක්කම් 10 කින් පිදුම් ලබා ඇත.

තවද, ශ්‍රී ලංකාව තුළ හමුදා වෛද්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එතුමන් ඉතා විශාල කාර්යය භර්යක් ඉටු කර ඇත. එසේම රටවල් 110 ක සාමාජිකත්වයෙන් යුත් ජාත්‍යන්තර හමුදා වෛද්‍ය සංගමයේ ශ්‍රී ලාංකික නියෝජිතයා වශයෙන් කටයුතු කරන්නේ ද වෛද්‍ය රියර් අද්මිරාල් ජයසේකර මහතාය. පසුගිය මස ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමයේ ආරම්භය වෙනුවෙන් එතුමන් සිය ක්‍රියාකාරී දායකත්වය සැපයූ අතර, එහි ආරම්භක සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීමටද එතුමා වරම් ලැබීය. මෙම වෛද්‍ය සංගමය මගින් දේශීය හමුදා වෛද්‍ය වෘත්තිකයින්ට සිය වෘත්තීය නිපුණත්වය අත්කර ගැනීම සඳහා මහත් පිටිවහලක් ලැබී ඇත. තවද, දශක 2 කට අධික වෛද්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති රියර් අද්මිරාල් ජයසේකර මහතා හට ඒ තුළින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශික්ෂණ රෝහල දකුණු ආසියාවේ උසස් තළයකට රැගෙන යාමට හැකිවනු ඇත. 2006 වර්ෂයේදී සිය වෘත්තීය ජීවිතයේ උසස්ම තලයට පැමිණි එතුමන් එතැන් පටන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්ෂක ජෙනරාල් සෞඛ්‍ය හා සේවා ලෙස කටයුතු කරමින් සිටියේය. මීට අමතරව එතුමන් ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලන සංගමයේ යාවජීව සාමාජිකයෙකු ලෙස වසර 10 ක් කටයුතු කරමින් සිටි අතර, 2012 සහ 2013 යන වර්ෂයන්හිදී එහි සභාපතිත්වය ද දරා ඇත. එසේම විවිධ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ නියෝජනය කරමින් හමුදා වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ දේශණ 20 කට අධික ප්‍රමාණයක් ද ජාත්‍යන්තර පර්යේෂණ පත්‍රිකා 15 කට වැඩි ප්‍රමාණයක්ද ඉදිරිපත් කර ඇති එතුමන් වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ (PGIM), ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාසල් (DSCSC), ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA) හා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) වැනි අධ්‍යාපන ආයතන රැසක දේශණ පවත්වා ඇත.

එතුමන් අධ්‍යාපන අංශයෙන්ද විශිෂ්ඨ ප්‍රථිපල අත් කර ගෙන ඇති අතර, වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය උපාධිය, ව්‍යාපාර පරිපාලන ශ්‍රාස්ත්‍රපති උපාධිය, විද්‍යාවේදී පශ්චාත් උපාධිය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පරිපාලන ආචාර්ය උපාධිය ද හිමිකරගෙන ඇත. මේ වන විට දර්ශණය පිළිබද සිය දෙවන ආචාර උපාධිය සඳහා අධ්‍යන කටයුතුවල නිරත වෙමින් සිටී. එසේම සිය පශ්චාත් උපාධි පාඨමාලාව අවසානයේදී ඇමරිකානු, නිව්යෝර්ක්, මෙතෝදිස්ත සහ ඕස්ට්‍රේලියානු ප්‍රින්සස් මාග්‍රම් යන රෝහල්වල පවත්වන ලද විශේෂ පුහුණුවීම් සඳහා ද එක්වීමට එතුමන් සමත් විය. කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලැබූ එතුමන් ද්විතීය අධ්‍යාපනය සඳහා කොළඹ ශාන්ත පීතර විදුහලට එක්වන ලදී. වෘත්තීය වගකීම් රැසකින් සමන්විත භාරදූර සේවාවක නිරත වුවද එතුමන් ඉතා දීර්ඝ කාලයක සිට ශාන්ත පීතර විදුහලේ ආධි ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් සිටින අතර, 2013 සහ 2014 යන වර්ෂයන්වල එහි සභාපති වශයෙන්ද කටයුතු කර ඇත. ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ උප සභාපති වශයෙන් කටයුතු කර ඇති එතුමන් ක්‍රීඩකයෙකු ලෙස ද ප්‍රකටය.